piliyandala-chinese-fraud

 වීසා නොමැතිව රැඳී සිටිමින්, අයථා ලෙස අන්තර්ජාලය හරහා මුදල් ඉපයූ බවට සැක කරන චීන ජාතිකයන් 20දෙනෙකු පානදුර උතුර ගොරකාන ධම්මානන්ද මාවතේ ලැගුම්හලක සිටියදී අත්අඩංගුවට ගැනීමට පානදුර උතුර පොලීසිය සමත් වී ඇත.වැටලීමත් සමගම එම ස්ථානයේ සිටි චීන ජාතිකයන් තවත් 18 දෙනෙකු පලා ගොස් ඇත.අත්අඩංගුවට ගත් කිසිදු සැකකාර චීන ජාතිකයකු සතුව විදේශ ගමන්ඉ බලපත්‍ර නොතිබූ බවත් පොලීසිය සඳහන් කරයි.


එම ස්ථානයේ තිබී විවිධ වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකථන 432ක්, ජංගම දුරකථන චාජර් කැට 133ක්, යූ.එස්.බී කේබල් 340ක්, ලැප්ටොප් පරිගණක, යූ.එස්.බී. චාජර් කෝඩ්, පවර් කෝඩ්, රවුටර්, මොනිටර්, ගණක යන්ත්‍ර, යූ.පී.එස්. 3ක්, වීඩියෝ කැමරා ආදී අන්තර්ජාල පහසුකම් සඳහා යොදාගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

පානදුර උතුර, ගොරකාන ධම්මානන්ද මාවතේ ලැගුම්හලක් තුළ සැක කටයුතු විදේශිකයන් පිරිසක් රැඳී සිටින බවට පානදුර උතුර පොලීසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකුට ලද තොරතුරුවලට අනුව, පානදුර උතුර පොලීසියේ නිලධාරීන් සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් පෙරේදා (08දා) රාත්‍රී එම ස්ථානය වටලා සැකකාර චීන ජාතිකයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් නීත්‍යනුකූල නොවන අන්දමින් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් රවටා ඔවුන් සතු ගිණුම්වලින් මුදල් අයථා ලෙස උපයා ගන්නා බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ලැගුම්හලේ හිමිකරු වෙත මාසික කුලී මුදල ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් ලබාදෙන බවට ගිවිසුමක් මගින් පොරොන්දු වී එය ලබා ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතිකයන් වීසා නොමැති චෝදනාව මත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, අයථා ලෙස අන්තර්ජාලය භාවිත කරමින් මුදල් ඉපයීම සිදුකළේ කෙසේද යන්න හා විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් ප්‍රකාශ නොකිරීම පිළිබඳ පානදුර උතුර පොලීසිය සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශනාංශය මගින් ඒකාබද්ධව විමර්ශන කටයුතු කරනු ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.මේ අතර අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 20දෙනා ඊයේ (09දා) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 23දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පානදුර අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)