police-deaths

පොලිස් නිලධාරීන් 117 දෙනකු පසුගිය ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලයේ දී බෝනොවන රෝගවලින් මියගොස් ඇති බව පොලිස් සුබසාධක කොට්ඨාසය කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.




රෝගී තත්වයෙන් පසුවන නිලධාරීන් නියමිත ලෙස සායනවලට නිසි ලෙස යොමු කිරීමෙන් හදිසි රෝගී තත්වයෙන් මියයන නිලධාරීන් ප්‍රමාණය අවම කරගත හැකි බව ද උසස් පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යවා ඇති විශේෂ පොලිස් පණිවිඩයක් මගින් පොලිස් සුබසාධන දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිනි අත්මිණි වීරසූරිය මහත්මිය පෙන්වා දී ඇත.


සුව දිවි මධ්‍යස්ථානවල පැවැත්වෙන සායන සඳහා මාසයකට දෙවරක් දිනකට උපරිම පොලිස් නිලධාරීන් විසිදෙනකුගේ සහභාගිත්වයෙන් සායන පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බැවින් එම සායන වලට නිලධාරීන් යොමු කරන ලෙස ද නියෝජ්‍ය පොලිස්පතිනිය විසින් යවා ඇති

එම විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


පසුගිය ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා පමණක් හෘදයාබාධවලින් 47ක්, වකුගඩු රෝගවලින් 28 ක්, පිළිකා රෝගයෙන් 16ක්, අක්මා රෝගයෙන් 10ක්, බෝ නොවන වෙනත් රෝග වලින් 19 ක්, නිව්මෝනියාවෙන් නිලධාරියකු ද මෙසේ මියගොස් ඇති නිලධාරීන් 117 දෙනාට ඇතුළත් වන බව විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.




යහපත් කායික හා මානසික යෝග්‍යතාවකින් යුතු පොලිස් නිලධාරීන් පිරිසක් බිහිකිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවතින රෝහල් මගින් මෙම සුව දිවි මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන බව ද විශේෂ පොලිස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මූලස්ථානය කියයි.
( ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)