වැඩිහිටියන් 500 දෙනකුට දිවා ආහාරය පැවැත්වීමට සූදානම් කර තිබූ දේශපාලන රැස්වීමක් පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී විමසිලිවීමත් සමග එය සංවිධානය කළ නව දේශපාලන පක්ෂයක පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයකු එම ස්ථානය මග හැර ගොස් ඇති බව සාලියවැව පොලිසිය පවසයි.
මෙම දේශපාලන රැස්වීම කරුවලගස්වැව, ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේ වැඩිහිටි සමිතියක සභාපතිවරයකුගේ නිවසේ පෙරේදා 28 සංවිධානය කර තිබූ බව කියති.මෙම නිවෙසට කල් වේලා ඇතිව පැමිණ සිටි අපේක්ෂකයා වැඩිහිටියන් හමුවී ඔවුන්ට දිවා ආහාරය ලබා දෙමින් තමන්ට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට සූදානමින් සිට ඇති නමුත් ඇතිවූ කිසියම් සැකයක් මත කල් වේලා ඇතිව එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව ද වාර්තා වෙයි.
මැතිවරණ නීති අනුව මෙලෙස ආහාර හෝ කිසිදු දෙයක් ලබා දීම නීති විරෝධී හේතුවෙන් මෙම සිදුවීමේ බරපතළ තත්වය තේරුම් ගැනීම නිසා මෙම අපේක්ෂකයා පොලිසිය ඒමට පෙර මාරු වී ගොස් ඇති බව පැවසෙයි.
කෙසේ නමුත් මේ පිළිබඳව පොලිසියට කිසිවකු පැමිණිලි කිරීමත් සමග සාලියවැව පොලිස් නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ ඇතත් කිසිදු අපේක්ෂකයකු නොමැති වීමත් ඒ වන විටත් වැඩිහිටියන් පිරිසක් දිවා ආහාරය ගෙන තිබීමත් සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව එය සංවිධානය කළ වැඩිහිටි සංවිධාන සභාපතිවරයාගෙන් තොරතුරු ලබා ගෙන පිටව ගොස් ඇති බව කියයි.වැඩිහිටියන් සඳහා මෙම දිවා ආහාරය ආහාර සපයන ආයතනයක ලොරි රථයකින් රැගෙන විත් තිබූ බව ද කියයි.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
0 Comments