හිටපු මන්ත්‍රීවරුන් තිහකට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වනවාද ? නැද්ද? සම්බන්ධයෙන් දැඩි දෙගිඩියාවක පසුවන බව දේශපාලන සහ පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.මුදල් ගැටලු, දේශපාලනය ගැන කලකිරීම, ඉදිරිපත් වීමට නිශ්චිත පක්ෂයක් තෝරා ගැනීමට නොහැකිවීම වැනි කාරණා ඊට බලපා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් සිය අපේක්ෂකයන් තෝරා ගැනීමේ දැඩි අර්බුදයක පසුවන බව දැනගන්නට ඇත.ඊට හේතුවී ඇත්තේ ජනාධිපතිවරණය අවසන් වනවාත් සමගම වැඩි කල් නොගොස් මහ මැතිවරණයට සූදානම් වීමට සිදුවීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධාන කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොලැබීම බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
තවත් සමහර පක්ෂවලට පාට ලකුණු තෝරා ගැනීම සහ සන්ධාන පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකිවීම යන කරුණු හේතුවෙන් ද අපේක්ෂකයන් තෝරා ගැනීමට ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ මුදල් ප්‍රශ්න හේතුවෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වනවාදැයි තමා තවම තීරණයක් ගෙන නොමැති බවයි.
මේ අතර හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ද ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවට සිය හිතවතුන්ට පසුගියදා පවසා ඇත. ඡන්දයට වියදම් කිරීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව බොහෝ මන්ත්‍රීවරු පෙන්වා දෙති. මහමැතිවරණයට නාම යෝජනා කැඳවීම අද (4) ආරම්භ කෙරෙන අතර එය ලබන 11 වැනිදා දක්වා සිදු කෙරේ.
(සුජිත් හේවාජුලිගේ)
0 Comments