political-stories-week

 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ට මේ වන විට මනාප අංක ලැබී ඇති නිසා ඡන්ද උණුසුම තව තවත් වැඩි වී ඇත.
සමහර දේශපාලඥයින් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග නොකළද ඔවුන් ඔවුන්ගේ දේශපාලන කඳවුර තිරය පිටුපස සිට ශක්තිමත් කරමින් සිටින ආකාරයක්ද දැකගත හැකිය.

උදාරහරණ ලෙස රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ගෑස් සිලින්ඩරය දිනවීමටත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙනුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සර්වජන බලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රීක්කයට තරගවදින තම පුත්‍රයා වන දහම් සිරිසේන දිනවීමටත් කටයුතු කරමින් සිටිති.



මෙවර ජාතික ජන බලවේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත්වන සියලූම අපේක්ෂකයන් ඉකුත්දා කොළඹට කැඳවා තිබිණි. ඒ ඒ දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් එකම වාහනයකින් පැමිණ තිබීම ද විශේෂත්වයකි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් මෙම හමුව සංවිධානය කර තිබුණේ තලවතුගොඩ පිහිටි හෝටලයකය.

ජනපති අනුර අපේක්ෂකයන්ට කියපු දේ

“රට වෙනුවෙන් තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහමැතිවරණයෙන් අත්පත් කරගත යුතුයි” ජනාධිපති අනුර කීවේය.

“මැතිවරණයට අපි මුහුණ දෙන්න ඕනෑ කොහොමද කියලයි අපි සාකච්ඡා කළේ. කොහොමත් දැන් අපිට කිසිම අභියෝගයක් නෑ” හමුව සම්බන්ධයෙන් කේ. ඩී. ලාල්කාන්ත කීවේය.

මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීම සඳහා ජාතික ජනබලවේගය රටපුරා සංවිධානාත්මකව සිය මැතිවරණ ව්‍යාපාරය මේ වන විටත් ආරම්භ කර ඇත.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් කමිටු, මැතිවරණ කොට්ඨාස කමිටු, ප්‍රාදේශීය කමිටු වශයෙන් කමිටු ගණනාවක් මගින් මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික්ක නායකයින්ට ඒ ඒ දිස්ත්‍රික්කවල මැතිවරණ මෙහෙයු‍මේ වැඩි වැඩ කොටසක් පවරා ඇත.

විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් පිරිසගේ කැමැත්ත මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී අතිවි‍ශිෂ්ඨ ජනවරමක් ලබාගත යුතු බව මාලිමාවේ දිස්ත්‍රික් නායකයින් තම ක්‍රියාකාරීන්ට දැනුම් දී තිබේ.

පාඨලීගේ ඉල්ලීම සජිත් අහක දැමූ හැටි

පාඨලී චම්පික රණවක ද මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවේ. ඔහු පැවසුවේ සමගි ජන බලවේගය අවබෝධතා ගිවිසුම කඩකළ හෙයින් තමන් තරග නොකරන බවය.

චම්පික පළමුවෙන් උත්සහ කළේ කළුතර දිස්ත්‍රික්කයෙන් තරග වැදීමටය. එහෙත් සමගි ජනබලවේගයේ දිස්ත්‍රික් නායකයෝ එයට විරෝධය පළ කළහ.

“ගිය පාර දෙන්නයි තේරුණේ. ඒ රාජිත සහ වෙල්ගම”.

“ඒ දෙන්නම දාලා ගියා. ඒක නිසා පිටින් කවුරුවත් එපා” කළුතර සජබ නායකයෝ කීහ.



අවසානයේ දී යෝජනා වූයේ චම්පිකගේ නම ජාතික ලැයිස්තුවට දැමීමටය.

“ජාතික ලැයිස්තුවට දානව නම් මට අංක 1, 2, 3 අතර ඕනෑ” චම්පික ඉල්ලීමක් කළේය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එයට එකඟ නොවීය. මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට චම්පික තීරණය කළේ ඒ අනුවය.

මාන්නප්පෙරුමගේ අවනඩුව

වරුණ දීප්ත රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. කුමාර් ගුණරත්නම්ලා ජවිපෙන් බිඳී යනවිට වරුණ ද ඒ පසු පසින් ගියේය. අවසානයේදී එතැනින් ද ඉවත් වූ වරුණ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විය. පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කාලය වැය කළේය. එහෙත් රනිල් පරාද විය.

“මම කැමැතියි ඔබතුමා එක්ක වැඩ කරන්න” වරුණ සමගි ජන බලවේගයේ නායක සජිත්ට දුරකතන ඇමතුමක් දී කීවේය. ඒ වන විටත් සජිත්ට ගම්පහ ආසන සංවිධායක අජිත් මාන්නප්පෙරුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබිණි.

“ඔබතුමා එනවා නම් මම ගම්පහ ආසන සංවිධායකකම දෙන්නම්” සජිත් කීවේය. අජිත් මාන්නප්පෙරුම මේ කිසිවක්ම නොදැන නාම යෝජනා පත්‍රයට අත්සන් තබා ගෙදර ගියේය. ගෙදර ගිය ඔහුට ආරංචි වූයේ තමන්ගේ ආසන සංවිධායකකම වරුණට දී ඇති බවය.

අජිත් මාන්නප්පෙරුම මෙම අවනඩුව කීමට සජිත් ප්‍රේමදාසට කතා කළේය. එහෙත් සජිත්ගෙන් ප්‍රතිචාරයක් නැත. අජිත් තීන්දුවක් ගත්තේය.

“ලිස්ට් එකේ නම තිබුණට මම ඉල්ලන්නේ නෑ. මට ඡන්දෙ දාන්න එපා” අජිත් මාන්නප්පෙරුම ගම්පහ දිස්ත්‍රීක් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සාමාන්‍යයෙන් ඡන්ද අපේක්ෂක ලැයිස්තුවට නම ඇතුළත් කිරීමෙන් පසු “මට ඡන්දය දාන්න එපා” යනුවෙන් යම් අපේක්ෂකයෙකු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතාමත්ම කලාතුරකිනි. එම අවස්ථාව මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී අජිත් මාන්නප්පෙරුම විසින් උදා කර දී ඇත.

අනුරගේ වැව් ගැන දැනුම

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට පිහිනීමට හොඳ හැකියාවක් ඇති බව ඔහු ගැන කුඩා කාලයේ සිටම දන්නා මිතුරන් හොඳින් දනී.

කුඩා කාලයේ ගමේ වැව්වල පිහිනීමට අනුර දැඩි ආශාවක් දැක්වූ අතර ඔහුගේ ඇතැම් මිතුරන් පවසන්නේ අනුර අනුරාධපුරයේ පිහිනපු නැති වැවක් සොයා ගැනීමට අපහසු බවය.

මේ අතර පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ප්‍රගති සමාලෝචන රැස්වීම් කිහිපයක්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙහිදී ජනාධිපති අනුර “වැව්ගම් පුබුදුව” වැඩසටහනෙහි වර්තමාන තත්ත්වය ගැන විමසුවේ ඇතැම් නිලධාරීන් ද පුදුමයට පත්කරමිණි.

“වැව්ගම් පුබුදුව” වැඩසටහන යටතේ අත්හැර දමා ඇති වැව් ප්‍රතිසංස්කරණය කරනු ලබන අතර, සමහර ප්‍රදේශවල වැව්වල තොරතුරු අනුර විමසුවේ නිලධාරීන් ද පුදුමයට පත් කරමිනි.

“වැව්වල පීනන්න විතරක් නෙවෙයි, වැව්වල සියලූම තොරතුරු අපේ ජනාධිපතිතුමා දන්නවා”යනුවෙන් එම ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු කතාබස් කොට තිබුණි.



විමල් නිහඬ වනවිට රත්නපුරෙන් ආරාධනාවක්

මහමැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග ජාතික නිදහස් පෙරමුණේ ඉදිරි පෙළ නායකයන් මෙන්ම ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවන ලදී. විමල් මුලින්ම මැතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණය කළේය.

“දැන් සහෝදරවරුන්ට තීරණය කරන්න පුළුවන් මොකක්ද කරන්නේ කියලා” විමල් කීවේය.

“මොන ප්‍රතිඵලය ආවත් අපි ඉල්ලමු” සියලු දෙනාගේම පොදු අදහස වූයේ එයය. එහෙත් විමල් සිටියේ වෙනත් මතයකය.

“ඉල්ලලා පරදිනවට වඩා අපි මේක දේශපාලන ජයග්‍රහණයක් බවට පත් කරගමු” විමල් කීවේ එවැනි දෙයකි.

“විමල් සහෝදරයා… මට රත්නපුරෙන් දිනන්න පුළුවන්. සහෝදරයට කොළඹ ෂුවර් නැත්නම් රත්නපුරෙන් ඉල්ලමු. මට සහතික කරලා කියන්න පුළුවන් සහෝදරයට දිනන්න පුළුවන් කියලා” ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වළේබොඩ කීවේය.

එහෙත් විමල්ගේ තීරණයේ වෙනසක් නොවීය. මෙම පරිසරය තුළ ජාතික නිදහස් පෙරමුණේ නායකයෝ අවස්ථා කිහිපයකදීම විමල් සමඟ සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාවලට ජාතික නිදහස් පෙරමුණේ ලේකම් දම්පහළ හෙවත් විජේසිරි ද වෛද්‍ය වසන්ත බණ්ඩාර ද සහභාගි වී ඇත. එහෙත් එම සාකච්ඡාවලදී ද විමල්ගේ ස්ථාවරයේ වෙනසක් වී නැත.

මේ අතර උදය ගම්මන්පිලගේ ජංගම දුරකතනයට විමල්ගෙන් ඇමතුමක් ලැබිණි.

“උදය මටයි ජයන්තටයි ඔයාව හමුවෙන්න ඕනෑ” විමල් කීවේය. විමල් ජයන්ත යැයි කීවේ ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරටය.

උදය ගම්මන්පිල කල් නොයවාම වේලාව දුන්නේය.

උදයගේ පැහැදිලි කිරීම හමුවේත් විමල් වෙනස් වූයේ නැත. උදය ගම්මන්පිල මේ බව දිලිත් ජයවීරට දැනුම් දුන්නේය. දිලිත් වහාම විමල්ට දුරකතන ඇමතුමක් ගත්තේය. එහෙත් ඒ වනවිට විමල්ගේ දුරකතනය අක්‍රිය වී තිබිණි.

රනිල්ගේ විශේෂ ප්‍රකාශය

රනිල්ගේ බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් කරන්නට පෙර කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයට රැස්වූ හිටපු මැති ඇමැතිවරුන් කාටත් පැවතියේ කුතුහලයකි.

“අපේ මාධ්‍ය මෙහෙයුම් වැඩ අපි ඉරිදා ඉඳන් පටන් ගන්නවා. ලබන 28 වැනිදා ඉඳන් මම රැලි අටක් දහයක් විතර අමතන්න බලාපොරොත්තු වෙනවා. මල් පාරේ කාර්යාලයේ වගේම සිරිකොතෙත් අප දිනපතා මාධ්‍ය හමු තියෙනවා” රනිල් පැවසූයේ ඉදිරි සංවිධාන කටයුතු ගැන හෙළිදරව්වක් කරමිනි.

රනිල්ගේ කාර්යාලයට රැස්වූ බොහෝ දේශපාලනඥයන්ගේ කතා බහට ලක් වූ තවත් මාතෘකාවක් වූයේ සමගි ජන බලවේගයේ බිඳවැටීමයි.

තේ බොන තැනත් කැබිනට් ප්‍රෙස් එකක්

සුපුරුදු පරිදි සතියේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අඟහරුවාදා පෙරව‍රුවේ පැවැතියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදීය. කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අමාත්‍යවරයාත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයාත් මීට සහභාගි වූ අතර මාධ්‍යවේදීන්ද සිය ප්‍රශ්න රැසක්ම කැබිනට් ප්‍රකාශකගෙන් විමසීය.

සුපුරුදු පරිදි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවෙන් අනතුරුව ඊට සහභාගි වන මාධ්‍යවේදීන්ට තේ පැන් සංග්‍රහයක් ලබා දෙයි. විජිත හේරත් අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණ මාධ්‍යවේදීන් සමඟ තේ බොමින් ආගිය තොරතුරු කතාබස් කළේය. මෙහිදී මාධ්‍යවේදීන් තේ බොන අතරතුරුද විජිත හේරත් අමාත්‍යවරයාගෙන් කාලීනව පවතින යම් යම් කරුණු පිළිබඳව විමසීම් සිදුකරන ආකාරයක් දක්නට ලැබිණ.ඒ සියලු විමසීම්වලට තේ බොන අතරවාරයේද පිළිතුරු ලබා දීමට තරම් විජිත හේරත් අමාත්‍යවරයා නිහතමානී විය.

“කැබිනට් ප්‍රෙස් එක ඉවරයි. දැන් මේ තේ බොන තැනටත් ප්‍රෙස් එක ඇවිල්ලා” යනුවෙන් මාධ්‍යවේදියෙකු කියපු කතාවට එතන සිටි සියල්ලෝම සිනාසුණහ.
(Silumina -රාජකීය හෑල්ල -රුවන් පතිරණ)