pregrab-borella

පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කළ රුපියල් මිලියන 60ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්පෙති 599,000ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ

ඊයේ (09) දින බොරැල්ල පොලිස් වසමේ බොරැල්ල රේමන්ඩ් මල් ශාලාව අසල ඇති මාර්ග සංඥාව අසල දී සිදු කළ වැටලීමකදීය.
වැටලීමේදී රුපියල් මිලියන 60ක වෙළඳපොළ වටිනාකමක් සහිත Pregab (ප්‍රෙගැබ්) නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 44ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි සුජි නැමැති පුද්ගලයෙකු විසින් බෝට්ටුවකින් පැමිණ සිලාවතුර පාලම අසලදී මෙම මත්ද්‍රව්‍ය තොගය ලබා දුන් බවත්, එම තොගය කොළඹ ප්‍රදේශයට රැගෙන යන ලෙස මොහුට උපදෙස් දී ඇති බවත්ය.
මෑත කාලයේ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් විශාලතම නීතිවිරෝධී මත්පෙති තොගයක් ලෙස මෙය සැලකේ.