rain-weather

මේ දිනවල ඇති වී තිබෙන වැසි තත්ත්වය මේ මස 03වන දිනෙන් පසු ක්‍රමයෙන් අඩු වී යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඉදිරි දෙකෙහිදීත් අන්තර් මෝසම් ඇති විය හැකි බවත්, එවිට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් පෙන්වා දෙයි.

මේ දිනවල පවතින වැසි සමග අකුණු ඇති විය හැකි බවත්, මේ නිසා අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


අකුණු ඇති වන විට එළිමහනේ හෝ ගස් යට නොසිටින ලෙසත්,

ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි. කුඹුරු හෝ ක්‍රීඩා පිටි මෙන්ම, ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙසත්, තද සුළං ඇති වන විට ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳවද සැලකිලිමත් වන ලෙසත් ඉල්ලා සිටියි.

අද (01දා) දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වැසි ඇති විය හැකි බවත්, දකුණු පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවත් පෙන්වා දෙයි.ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදීහෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොන දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද පෙන්වා දෙයි.
(එච් අයි තුෂාර)