ranil-chandrika-maithri

 වරලත් ගණකාධිකාරිවරුන්ගේ 45 වන ජාතික සමුළුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනකුගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (16දා) පස්වරුවේ පවත්වා තිබේ. කොළඹදී පැවැති මෙම සමුළුව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.

එම ජාතික සමුළුවේදී හිටපු ජනාධිපතිවරුන් තිදෙනා එකම වේදිකාවක දී ඔවුන්ට ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම විශේෂත්වයකි. එහිදී මෙරට දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ අදහස් පළ කළේය.



“රටේ පාලකයා හොඳ වූ තරමින්ම රටක් හැදෙන්නේ නෑ. දෙවැනියා අගමැති. තුන් වැනියෝ කැබිනට් මණ්ඩලය. එක දෙක තුනම පිරිසිදු වෙන්න ඕනේ. දූෂණය වංචාවෙන් තොර වෙන්න ඕනේ.

මම කොහෙත්ම කැමති නෑ මේ පහුගිය 74 ම මේ රට කාපු, රට පාලනය කරපු කියලා කියනවාට. ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ දේශපාලනඥයින්ට විතරක් බැන්නට වැඩක් නෑ. දේශපාලනඥයිනුත් මුල ඉඳලම හැදෙන්න ඕනේ. අමාත්‍යාංශ ලේකම් ඉඳලා ජනාධිපති ලේකම් ඉඳලා පහළට හැදෙන්න ඕනේ. රටේ පුරවැසියොත් යහපත් වෙන්න ඕනේ. දැන් ඡන්දයක් කරන්න ගියාම අරක්කු නැත්නම් කොහෙත්ම වැඩ කරන්න බෑ. හොඳ කෑම එකක් ඕනේ. හොඳ බස් එකක් ඕනේ. ඒක තමා තත්ත්වය.”

ඉදිරියේ දී බිහිවන ජනාධිපතිවරයකුට ලබාදෙන උපදෙස් සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන අය මෙලෙස පිළිතුරු ලබාදුන්හ.



රනිල් වික්‍රමසිංහ – යූඑන්පී සභාපති වුණා මිස්ටර් පණ්ඩිතරත්න. එතුමා ඇත්ත වශයෙන්ම ජනාධිපතිගේ දකුණු අත වගේ හිටියා. මහවැලිය සාර්ථක වුණේ එතුමා නිසා. එක්සත් ජාතික පක්ෂයට බැඳුණොත් මේ අයට උඩට යන්න පුළුවන්. CEO කෙනෙක් සහ අපේ දේවල් ඊට වඩා වෙනස්. ස්ටීව් ජොබ්ස්ට අමෙරිකාවේ ජනාධිපති වෙන්න බෑනේ. ඒ නිසා ඒක දෙකක්. එහෙම කරපු එකම කෙනා ඩොනල්ඩ් ට්‍රම්ප්.”

මෛත්‍රිපාල සිරිසේන – ඔබතුමා කිව්වට මේ ඉන්න කවුරුත් ආවේ නෑනේ. ඡන්දෙට ඉදිරිපත් වුණේ නෑනේ. ආව නම් එපා කියනවා ද? අපි එපා කියන්නේ නෑ. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා අනාගතයේ දී ඔබතුමන්ලාගේ වරලත් ගණකාධිකාරිවරයෙක් මේ රටේ ජනාධිපති වේවා කියලා.”

රනිල් වික්‍රමසිංහ – මේක හැමවෙලේම පාලනය කරන්නේ නීතිඥයෝ. ඔයගොල්ලෝ වැරදි වෘත්තියේ ඉන්නේ.

චන්ද්‍රිකා කුමාරතුංග – මේ රටේ හැමකෙනාටම දොරවල් විවෘත වෙන්න ඕනේ. උගත්, වැදගත් අයට දේශපාලනයට එන්න. මම දැන් වෙලාව වෙන්කරන්නේ දේශපාලනයට නෙමෙයි. අලුත් නායකයින්ව හදන්න.”

මෛත්‍රිපාල සිරිසේන – ජනාධිපතිතුමියනි උගතුන් ඉන්නවා හොරකම් කරන. අමාත්‍යාංශවල ඇමැතිට හොරකම් කරන්න බෑ අමාත්‍යාංශ ලේකම් සහ ප්‍රධාන ගණකාධිකාරීවරයයි දන්නේ නැතුව. ඊට පස්සේ තමා ඒ දෙන්නත් පටන් ගන්නවා. මහ එකා එහෙම නම් අපිත් පොඩ්ඩක් ගහනවා කියලා.



යහපාලන ආණ්ඩුව සමයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් ද මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් මෙහිදී විමසා සිටි අතර ඔහු ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

මෛත්‍රිපාල සිරිසේන – මට මේවට උත්තර දෙන්න පුළුවන්. රනිල් මහත්තයා මෙච්චර හොඳට කතා කර කර ඉඳලා තරහ වෙයිද දන්නේ නෑ. ඒ නිසා ඕන කෙනකුට පුද්ගලිකව මාව හම්බ වුණොත් මම කියන්නම්. ඒක මගේ තනි තීන්දුවක් නෙමෙයි. හැබැයි එකේ වගකීම මම ගන්න ඕනේ. රාජ්‍ය නායකයෙක් වුණාම බොහෝ දේවලවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.