විරෝධතා ව්‍යාපාරයට පොලීසියෙන් පහරදීමෙන්, සිය මූලික අයිතිවාසිකම් කඩ කළ බවට සමාජවාදී තරුණ සංගමය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22දා) අවසර දුන්නේය.
විරෝධතා ව්‍යාපාරයට පොලීසියෙන් පහරදීමෙන් සමාජවාදී තරුණ සංගමයේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පවරා ඇති පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් හිටපු ජනාධිපතිවරයා නම් කිරීමට අවශ්‍ය බවට
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා කළ ඉල්ලීම පිළිගනිමින් පෙත්සම සංශෝධනය කිරිමටද ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.
සමාජවාදී තරුණ සංගමයේ කමිටු සාමාජිකයෙකු වන මහේෂ් ඉඳුනිල් මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කුරුඳුවත්ත, මරදාන සහ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානවලට ස්ථානාධිපතිවරු ඇතුළු පිරිසක් නම් කර ඇත.
රජයේ ප්රජාතන්ත්ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව, පසුගිය සැප්තැම්බර් 27 වැනිදා කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ බවත්, එම විරෝධතා ව්‍යාපාරයට පොලීසිය පහර දී විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වූ විරෝධකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් සඳහන් කරන පෙත්සම්කාර මහේෂ් ඉඳුනිල් මහතා, ඉන් සිවුදෙනෙකු පොලිස් ඇප මත මුදාහළ බවත්, දෙදෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත මුදාහළ බවත් සඳහන් කර ඇත.
අධිආරක්ෂිත කලාපයට නීතිවිරෝධී අන්දමින් ඇතුල් වූ බව පවසමින්, පොලීසිය තම සංවිධානයේ සාමාජිකයන් අත්අඩංගුවට ගත් බවත්, අදාළ අධිආරක්ෂිත කලාපය පිහිටුවා ඇත්තේ නීතියට පටහැණිව වන හෙයින්, පොලීසිය සඳහන් කරන කරුණුවල සත්‍යතාවක් නොමැති බවත් සඳහන් කරන පෙත්සම්කාර මහේෂ් ඉඳුනිල් මහතා, මෙම තත්ත්වය තුළ තමන්ගේ සහ තම සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද සඳහන් කර ඇත.
අදාළ ප්‍රදේශය අධිආරක්ෂක කලාපයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන බවට සඳහන් ගැසට් නිවේදනය බලරහිත කරන්නැයිද, එය නීතියට පටහැණි බව ප්‍රකාශ කරන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ,
පොලීසියේ ක්‍රියාකලාපයෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්රකාශකරන්නැයිද ඉල්ලා සිටිති.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාර මහතා, මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවශ්‍ය වී ඇති හෙයින්, පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.ඉල්ලීම පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම ලබන වසරේ ජුනි 14වැනිදා යළි කැඳවීමට නියම කළේය.පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ චාමර නානායක්කාර මහතා පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා පෙනී සිටියේය.
(බුද්ධිමාල් රුබේරු)
0 Comments