ranil-sequrity-lower

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට දෙන ලද පොලිස් නිලධාරීන් 307 දෙනකු අද (7) සිට ඉවත් කර පොලිස් ස්ථානවලට අනුයුක්ත කර ඇති බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර අද ජාතික පුවත්පතක හිටපු ජනපති රනිල් කියූ පහත ප්‍රකාශයද සටහන්ව ඇත.


“ආරක්ෂාවට සිටි සියලු දෙනා ඉවත් කරලා. රියැදුරන් හෝ කිසිවකුත් නැහැ. අද ඉන්නවා. හෙට ඉඳන් කවුරුත් නැහැ".යන්න එම ප්‍රකාශයයි.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබූ ආරක්ෂාව මෙසේ ඉවත් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාද සමගින් බවත් විවිධ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් 307ක් සහ තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරීන් 24 දෙනකු මෙලෙස ඉවත් කර ඇති බවත් ඔවුන් දිවයිනේ විවිධ පොලිස්ථාන සඳහා අනුයුක්ත කර ඇති බවත් මුල් වාර්තා වල පළ විය. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මෙම ආරංචි වල සත්‍යතාව ගැන පැහැදිලි කරමින් පවසා ඇත්තේ,



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාව ඊයේ (06) සිට ක්‍රියාත්මක වන පරිදි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අනුයුක්ත කර තිබෙන බවයි.
තනතුර අහිමි වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන්නේ හිටපු ජනපතිවරයෙකුට ලැබෙන ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාව බැවින් මෙම සීමා කිරීම සිදුකර ඇතකි නමුත් ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් තවදුරටත් එළෙසම කටයුතු කරන බව පොලිසිය පවසයි.
මේ දක්වා හිටපු ජනපතිවරුන් 7 දෙනෙකු සඳහා එවැනි ආරක්ෂක ඒකක 7ක් පිහිටුවා ආරක්ෂාව ලබා දෙමින් තිබෙන බවද පොලිසිය වැඩිදුරටත් පැහැදිලි කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාස නිවේදනයේ දැක්වේ.