ranjan-election-issue

රන්ජන් රාමනායකගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.


මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක මහතා විසිනි.
රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින් රන්ජන් රාමනායක ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පසුබිම

වසර හතක් ගතවන තුරු මැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස තමන්ට එරෙහිව පනවා ඇති තහනමේ කාලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට හැකිවන පරිදි අඩු කරන ලෙස

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ නායක රංජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තාවේ.
2024 ඔක්තෝම්බර් 02 දිනැති ලිපියට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බව රංජන් රාමනායක මහතා සිය ලිපියෙන් ඉල්ලා තිබේ.


පසුගිය පාර්ලිමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්ක සමගි ජන බලවේගය පක්ෂ මන්ත්‍රීවරයා ලෙස පත්වූ ඔහු මෙවර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමේ නායකයා ලෙස නාමයෝජනා භාර දී ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ නාමයෝජනා ලැයිස්තුව මැතිවරණ කොමිසම විසින් පිළිගෙන තිබුණි.




2021 ජනවාරි 12 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට රන්ජන් රාමනායක වරදකරු බවට තීන්දු කලේය.
යහපාලන රජය සමයේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ‍රන්ජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලදී.