ranjan-udv

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා අද (9) කොළඹදී පවත්වන මාධ්‍ය හමුවකදී 'එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ' නමින් සිය නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීමට නියමිත බව වාර්තාවේ.


මයික්‍රෆෝනය ලකුණින් තරග කරන එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතය.

එම පක්ෂයෙන්  රන්ජන් රාමනායක මහතා මහ මැතිවරණය සඳහා ගම්පහින් තරග වැදීමට සූදානම් වන බව වාර්තා වේ.

මානව හිතවාදී දේශපාලඥ රන්ජන්ගේ ඥාතී දිවංගත විජය කුමාරතුංග මහතාගේ 79 වැනි ඡන්ම දිනය යෙදී ඇති අද (09) දිනයේදී රාමනායක මහතා මේ බව ප්‍රකාශයට පත්කරන්නට තීරණය කර ඇත.
ඔහුට අධිකරණ අපහාසය යටතේ ලබාදුන් සිරදඩුවම සමග ජනපති සමාව ලැබුණත් දේශපාලන ක්‍රියාකාරකම්වල නිරතවීමට ප්‍රජා අයිතිය ලැබී තිබුනේ නැත. ඒ නිසා ඔහු පසුගිය කාලයේ කලාකටයුතු වල පමණක් නිරත විය.

අනුර ජනපතිවූ පසුව රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අදාළ ලිපි ලේඛන සමඟ ඔහු ජනාධිපති කාර්යාලයට ගොස් තිබිණි.



ජනාධිපති කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් රන්ජන් රාමනායක මහතා කියා සිටියේ
“මම NPP නායකයින් ඇමතුවා. එය ඉක්මනින් ලැබේවි " කියාය.
එන්පීපීයෙන් මහ මැතිවරණයට තරග කරන්නේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රන්ජන් රාමනායක මහතා එහිදී කියා සිටියේ ඒ ගැන කිසිවක් කීමට නොහැකි බවය. අභ්‍යන්තර ආරංචි හෙළිකරන්නේ මාලිමාවේ අපේක්ෂකයෙකු වීමට රන්ජන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවයි. මේ නිසා ඔහු නව පක්ෂයකින් නව ලකුණක් යටතේ තරග වදින අතර ගම්පහදී ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදියා බවට ඇමති විජිත හේරත් පත්වනු ඇත.