rathmalana-murder-madura-manuranga-death-sentence

මීට වසර 12 කට පෙර 2012 දී වෙනත් තරුණියක විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරියගේ සහ තුන් හැවිරිදි පුතුගේ ගෙල සිර කර මරා, ඔවුන් ද සමග මසක් වයසැති පුතා නිදි යහනේදීම පුලුස්සා දැමීමේ චෝදනාවලට වරදකරු කරමින් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරි මධුර මනුරංග නමැත්තාට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අභියාචනාධිකරණය අනුමත කළේය.


රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි විත්තිකරු මෙම අපරාධය කර ඇත්තේ චේතනාන්විතවම බව පරිවේෂණීය සාක්කි සහ විද්‍යාත්මක සාක්කි මගින් තහවුරු කරගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විත්තිකරුට මරණ දඬුවම් පමුණුවා ඇතැයි මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකරු ගොනු කළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේය.


මහාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින් පිටු 38කින් සමන්විත තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් මෙලෙස මරණ දඬුවම ස්ථිර කරන ලද්දේ, රත්මලාන, කල්දෙමුල්ල, ගොලුමඩම හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකු වූ විජේමුනි මධුර මනුරංග ද සිල්වා (43) නමැත්තාටය.




අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ පී. කුමාරන්රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ අභියාචන පෙත්සම විභාගයට ගැනිණි.

නිදි ඇඳේදීම ඝාතනය කර අමු අමුවේ පිලිස්සූ බවට සනාථ වූයේ, රත්මලාන, කල්දෙමුල්ල, ගොලුමඩම හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි සචේතනා සඳමාලි ප්‍රනාන්දු (29), විජේමුණි ඉෂාන් චානුක ද සිල්වා (3) සහ කුෂාන් සඳරු ද සිල්වා (මාස 1) නමැති, විත්තිකරුගේ බිරිය සහ දරු දෙදෙනාය.


දීර්ඝ විභාගයකින් අනතුරුව විත්තිකරුගේ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් පිටු 38කින් සමන්විත තීන්දුවක් ප්‍රකාශයට පත් කළ විනිසුරු මඬුල්ල, රත්මලාන, කල්දෙමුල්ල, ගොලුමඩම හන්දිය ප්‍රදේශයේ එකම නිවෙසක විත්තිකරු සමග සචේතනා සඳමාලි ප්‍රනාන්දු (29), විජේමුණි ඉෂාන් චානුක ද සිල්වා (3) සහ කුෂාන් සඳරු ද සිල්වා (මාස 1) නමැති විත්තිකරුගේ බිරිය සහ දරු දෙදෙනා පදිංචිව සිට ඇතැයි සඳහන් කළේය.


2012 දෙසැම්බර් 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිවෙසේ කාමරයේ නිදා සිටියදී බිරිය සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ බවත්, කොළඹ මහාධිකරණ විනිසුරු විකුම්



කලුආරච්චි මහතා හමුවේ විභාග කළ නඩුවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීමෙන් සාක්කිකරුවන් 14 දෙනකු සාක්කි දී ඇතැයි ද විනිසුරු මඬුල්ල තීන්දුවේ සඳහන් කළේය.


සිද්ධිය වන විට 31 හැවිරිදි වියේ පසු වූ විත්තිකරු පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් හදාරමින් සිටියදී හමු වූ මීගමුව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන ඇති බව මහාධිකරණ නඩු විභාගයේදී හෙළි වී ඇතැයි තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඬුල්ල, ප්‍රේම සබඳතාවක් ඇති කරගත් ජාත්‍යන්තර පාසල් ගුරුවරිය විවාහ කරගැනීමේ අරමුණෙන් විත්තිකරු තම බිරිය සහ දරු දෙදෙනා ඝාතනය කර ඇති බව මහාධිකරණ නඩු විභාගයේදී අනාවරණය වී ඇතැයි ද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළේය.


සාක්කිකරුවන් 14 දෙනකුගේ සාක්කි විමසා බැලීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි මීනී මැරීමේ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති හෙයින්, චෝදනා තුනටම ඔහු වරදකරු බවට තීන්දු කරමින්, 2019 නොවැම්බර් 7 වැනිදා මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා විත්තිකරුට මරණ දඬුවම නියම කර ඇතැයි තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඬුල්ල, මහාධිකරණ විනිසුරුවරයාගේ එම තීන්දුව බල රහිත කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර ඇතැයි ද සඳහන් කළේය.




පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ කරුණු අනුව මහාධිකරණය විත්තිකරුට මරණ දඬුවම පමුණුවා ඇත්තේ අධිකරණයට ඉදිරිපත් වූ පරිවේෂණීය සාක්කි මෙන්ම විද්‍යාත්මක සාක්කි සලකා බැලීමෙන් අනතුරුව බවත්, ඉදිරිපත් වූ සාක්කිවලදී විත්තිකරු චේතනාන්විතවම මෙම මනුෂ්‍ය ඝාතන කර ඇති බව මහාධිකරණ විනිසුරුවරයා තහවුරු කරගැනීමෙන් අනතුරුව විත්තිකරුට දඬුවම් පමුණුවා ඇති බවත් තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඬුල්ල, ඒ අනුව විත්තිකරු අදාළ චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමට හෝ මහාධිකරණ තීන්දුව බල රහිත කිරීමට තරම් සාධාරණ හේතුවක් ඉදිරිපත් වී නොමැති බව ද තීන්දුවේ සඳහන් කළේය.


ඒ අනුව, අභියාචනය නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය,  විත්තිකරුටමහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අනුමත කළේය.වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥ මලික් අෂීස් මහතා සමග සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පෙනී සිටියාය.
(රන්ජන් කටුගම්පොළ)