rice-shortage

මේ වන විට ඇතැම් ප්‍රදේශවල ඇති වී තිබෙන නාඩු හා සම්බා සහල් හිඟය කෘත්‍රිමව ඇති කර තිබෙන එකක් බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.මේ නිසා සියලුම මෝල් හිමියන් සතුව තිබෙන වී තොග හා සහල් තොග පරීක්ෂා කිර්මට කඩිනමින් වැඩපිළිවෙළක් රජය යකස් කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් තවදුරටත් සහල් මිල ඉහළ යා හැකි බවත් එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේය.මේ වසරේ පෙබරවාරි හා මාර්තු මාසවලදී වි මේට්‍රික් ටොන් ලක්ෂ 28කට ආසන්න අස්වැන්නක් හා පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර්වලදී වී මේට්‍රික් ටොන් ලක්ෂ දහසයක අස්වැන්නක් ලැබී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.




මේ අනුව මේ වසර තුළදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 44කට ආසන්න අස්වැන්නක් ලැබී තිබෙන බවත්, එය ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා අවශ්‍ය සහල් ප්‍රමාණය සම්පාදනය කිර්මට ප්‍රමාණවත් බවත් ඒ මහතා සඳහන් කළේය.එසේ තිබියදී පසුගිය සතියේ නාඩු සහල් හිඟයක් මවා පවා එතෙක් රු. 202- රු. 210 මුදලකට අලෙවි කළ නාඩු සහල් කිලෝවක මිල මේ වන විට රුපියල් 220- රු.230 මුදලක් දක්වා ඉහළ දමා තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.


සම්බා සහල් කිලෝවක් රුපියල් 230 ඉක්ම වූ මිලකට අලෙවි කරන බවත්, මේ වන විට ගොවීන් සතුව වි තොග නොමැති බවත් මෙවර මාස් කන්නයේ අස්වැන්න ලැබීමට නියමිතව තිබෙන්නේ ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව බවත් ඔහු පැවසීය.

පසුගිය කාලයේදී පුද්ගලික වෙළෙඳුන් නාඩු වී කිලෝවක් මිලදී ගත්තේ රු. 80-රු. 100 මුදලකට බවත්,

මේ වන විට සහල් බවට පත් කර වැඩි මිලට අලෙවි කරනු ලබන්නේ ගොවීන්ගෙන් අඩු මුදලට ලබාගත් වී තොග බවත් ඒ මහතා සඳහන් කළේය. මේ නිසා මෙම කන්නයේ අස්වැන්නෙන් වැඩි කොටසක් රජයෙන් මිලදී ගැනීම මේ මොහොතේ සිට ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත්, රජය සතුව විශාල වී තොගයක් තිබීමෙන් කලින් කලට සහල් මිල ඉහළ දැමීමේ ක්‍රියා පාලනය කර ගත හැකි බවත් ඔහු පැවසීය.
(ඉන්දික හේවාවිතරණ)