rmv-head-arrested

බස් රථ තුනක අයිතිය එහි පරම හිමිකරුට පවරා දීම සඳහා රුපියල් ලක්‍ෂ 2ක අල්ලසක් ව්‍යාපාරිකයකුගෙන් ඉල්ලා, ඉන් ලක්‍ෂ 1 1/2ක් ලබා ගන්නා අවස්ථාවේදීඅල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ නිලධාරීන් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේදීම අත්අඩංගුවට ගත් බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනකු හෙට (8) දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉකුත් (5) නියම කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන කරන බව කියමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන් රිමාන්ඞ් බාරයට පත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් හෙට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියම කළේය.




අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බස් සහ ලොරි රථ පැවැරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා වශයෙන් රාජකාරි කළ සජිත් වසන්ත වෙල්ගම, එම අංශයේ විෂය ලිපිකරුවකු වශයෙන් රාජකාරි කළ සංවර්ධන නිලධාරි කරුණාදිපතිලාගේ ජගත් ශාන්තප්‍රිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ රාජකාරි කරමින් සිට වැඩ තහනමකට ලක්ව සිටින මුතුතන්ත්‍රිගේ මර්වින් ජයන්ත ප්‍රනාන්දු නමැත්තෝය.

අල්ලස් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින්, බස් රථ හිමිකරුවකු වන පොල්හගවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්හ.


බස් රථ හිමිකරුවකු වන පොල්හගවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයා මූල්‍ය ආයතනයක අනුග්‍රහය ඇතිව ලීසිං පහසුකම් යටතේ බස් රථ තුනක් ගෙන ඇති බවත්,

එම බස් රථවල ලීසිං වාරික සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීමෙන් අනතුරුව බස් රථවල පරම අයිතිය අදාළ ව්‍යාපාරිකයා නමට හරවා ගැනීමට කටයුතු කරමින් සිටින විට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ රාජකාරි කරමින් සිට වැඩ තහනමකට ලක්ව සිටින මර්වින් නමැත්තා හමු වී ඇතැයි දැනුම් දුන් නිලධාරීහු, බස් රථවල පරම අයිතිය අදාළ ව්‍යාපාරිකයා නමට හරවා දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා ඔහු රුපියල් ලක්‍ෂ 2ක අල්ලසක් ඉල්ලා අත්තිකාරම් වශයෙන් මුලින් රුපියල් 50,000ක් ගෙන ඇතැයි ද දැනුම් දුන්හ.
( රෝෂන් තුෂාර)

 

අදාළ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී, ඉතිරි රුපියල් 1,50,000ක මුදල ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී මර්වින් නමැත්තා ද, ඔහු මාර්ගයෙන් රුපියල් 1,50,000ක මුදල ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් ලිපිකරුවකු වශයෙන් රාජකාරි කළ සංවර්ධන නිලධාරියා ද, අල්ලස් ඉල්ලීම හා තැරැව්කරුට හා විෂය ලිපිකරුට අල්ලස් ගැනීමට ආධාර අනුබල දීම,

කුමන්ත්‍රණය, මෙහෙයවීම සහ පෙළැඹවීම යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බස් සහ ලොරි රථ පැවැරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ද අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් නිලධාරීහු, සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි දැනුම් දුන්හ.


සිද්ධියට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලේඛන සොයා ගැනීමට මෙන්ම එහි සේවය කරන නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය යැයි දැනුම් දුන් නිලධාරීහු, සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය හෙට 8 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමට නියම කළේය.