ruwanwella-murder

 ඒ ඉකුත් 2021 වසරේ අප්‍රේල් මස 9 වැනිදාය. රුවන්වැල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලකි. “සර්… අක්කර 50 වත්තේ රබර් නෙරියක අපේ තාත්තාව මරලා දාලා…” පැමිණිලිකරු තුෂාර නමැත්තෙකි. මියගිය බව කියන පුද්ගලයාගේ පුතා බව කියයි. නිලධාරීන් අක්කර 50 වත්තට යන්නේ
ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ අදහසිනි. ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සොකෝ නිලධාරීන් මෙන්ම ඇඟිලි සලකුණු අංශයද සිද්ධිය වූ ස්ථානයට කැඳවිණි. ඊට අමතරව නිල සුනඛයාද එතැනට ගෙන ඒමට කටයුතු කරන්නට විය. මළසිරුර අසලම රබර් සෙරෙප්පුවක් තිබිණි. නිලධාරීන්ගේ සැකය එය වෙතද එල්ල විය. ඒ එම සෙරෙප්පුව ඝාතකයාගේ වන්නට ඇති බවට ඇති වූ සැකය නිසාය.

විමර්ශන ඇරැඹුණේ සිද්ධිය වූ ස්ථානයට මහෙස්ත්‍රාත්වරයාගේ පැමිණීමෙන් අනතුරුවය. ඔහුගේ නියෝගය මත මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරිණි.

මියගිය පුද්ගලයා C47, ගලපිටමඩ, බෝගහහේන, දුනුමාල පාර පදිංචි මුණසිංහලාගේ පියසේන බවට හඳුනා ගැනිණි. පියසේනගේ මරණය බෝගහහේන, දුනුමාල පාර අවට පදිංචිකරුවන්ටත් ගෙන දුන්නේ දැඩි සංවේගයක් මෙන්ම බරපතළ සැකයකි.

කෙසේ වෙතත් පියසේනගේ මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වන්නේ ඔහුගේ මරණය ඝාතනයක් බවකි. ඔහුට පහරදී ගෙල සිරකර මරා දමා ඇති බවකි.

නිල සුනඛයාට ඉවට ලබාදී තිබුණේ සිද්ධිය වූ ස්ථානයේ තිබූ සෙරෙප්පුවය. එහි ලේ තැවරී තිබිණි.



එහෙත් සොයාගත් සෙරෙප්පුව රස පරීක්‍ෂකවරයා වෙත යැවීමට නිලධාරීහු පියවර ගත්හ. ඒ එහි තැන්පත් ජාන සාම්පල කාගේදැයි අනාවරණය කර ගැනීම සඳහාය.

ඒ අතර දිගින් දිගටම විමර්ශන සිදුකෙරිණි. සෙරෙප්පුවේ රස පරීක්‍ෂක වාර්තාවද පොලිසියට ලැබිණි. විමර්ශන දිගින් දිගටම සිදුවුවද පියසේනගේ ඝාතනයට කිසිදු පුද්ගලයකු කොටුවූයේ නැත. එහෙත් ගම තුළ නොයකුත් කයි කතාන්දර පැතිර ගියේය.

ඒ අතර සුසන්ත නමැත්තකුගේ නමක්ද කියැවිණි.

පියසේනගේ මරණයත් සමඟ සුසන්ත ගමෙන් අතුරුදන්ව සිටීම ඊට හේතුව විය. මාස ගණනක් යනතුරු ඔහු ගමට ආවේ නැත. බිරිය හා දරුවන් ගමේ විසුවද ඔවුන් දැක බලා ගන්නටවත් සුසන්ත නොපැමිණීම ගමේ කිහිප දෙනකුට ප්‍රශ්නයක් විය. සමහරු කීවේ ඔහු විදේශගතව ඇති බවය. මේ නිසා ගමේ පිරිස් සුසන්ත ගැනද සැක කළහ. ඒ සුසන්තත් පියසේනත් අතර කිසියම් ආරවුලක්ද තිබූ නිසාය.

පියසේනගේ මරණය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය දක්වන උදාසීනත්වයත් ඒ සම්බන්ධයෙන් කිසිවකු කොටුකර ගැනීමට පොලිසිය අසමත් වීමත් නිසා ගලපිටමඩ පදිංචිකරුවෝද පියසේනගේ මරණයට සාධාරණයක් ඉල්ලා බලධාරීන්ගේ පිහිට පැතූහ.

ඒ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ඔවුන් ලිපියක්ද යොමු කළේය. ඒ පියසේන ඝාතනය වී වසර දෙකකට පසු 2023 වසරේදීය. ඔවුන් එම ලිපියෙන් ඉල්ලා සිටියේ කට්ටි පනින පියසේනගේ ඝාතකයා නීතිය හමුවට ගෙන ඔහුගේ මරණයට සාධාරණයක් කරන ලෙසය.

ලිපිය අධ්‍යයනය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා එය අධ්‍යක්‍ෂවරයා වෙත යොමු කළේය. මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා එම විමර්ශන සඳහා සුදුසු නිලධාරියකු ලෙස කොස්තාපල් විජේකෝන් (104808) පත්කළේ ඉන් පසුවය. විමර්ශනයට කොස්තාපල් සම්පත්ද එකතු විය.

ඒ අනුව නිලධාරීන් පියසේන පදිංචි ගලපිටමඩ ප්‍රදේශයට ගොස් යළි සාක්‍ෂි එකතු කරන්නට විය. පියසේනගේ මළසිරුර අසල තිබූ සෙරෙප්පුව ගැනද නිලධාරීන් සාක්‍ෂිකරුවන්ගෙන් කරුණු විමසීය.

මෙලෙස විමර්ශන සිදු කරද්දී මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සම්පත් රාලහාමිට (70701) පියසේනගේ ඝාතකයා සම්බන්ධයෙන් තොරතුරක් ලැබිණි.

“සර් පියසේන අයියව මැරුවේ සුසන්ත කියන කෙනා කියලා අපිට සැකයක් තියෙනවා. මොකද එදා ඉඳන් මිනිහා ගම පැත්ත පළාතේ ආවේ නැහැ. රට ගිහින් කියලා තමයි කිව්වේ. ඒත් ආරංචිය මිනිහා ලංකාවෙලු ඉන්නේ. ඉන්න තැන නම් දන්නේ නැහැ සර්.”

ලැබුණු තොරතුර වහා කොට්ඨාස භාර අධ්‍යක්‍ෂවරයා වෙත දැනුම් දුන් කොස්තාපල් සම්පත් ඔහුගේ උපදෙස් මත සුසන්ත පසුපස පන්නන්නට විය.

සම්පත් එම ඒකකයේ දක්‍ෂ නිලධාරියෙක් විය. ඔහු වෙහෙස මහන්සි වී රාජකාරි කරන නිලධාරියෙකි. මීට පෙරද මෙවන් අපරාධ පසුපස හඹාගොස් සැකකරුවන් අල්ලා ගැනීමට දායක වූ අයෙකි. ඒ බව හොඳින් දන්නා අධ්‍යක්‍ෂවරයා සුසන්ත කොටුකර ගැනීමේ වගකීම සම්පත් ඇතුළු සෙසු නිලධාරීන්ට ලබාදුනි.



එතැන් පටන් සම්පත් රාලහාමි සුසන්ත පසුපස විය.  ඔහු පාවිච්චි කරන ලද ජංගම දුරකථනයේ අංකය පසුපස යමින් ඔහු සිටින ස්ථානය සොයා ගන්නට වෙහෙසුණේය. එමෙන්ම ඔහුගේ ඥාතීන් පදිංචිව සිටින ගෙවල් ‍ෙදාරවල්වලට ගොස් සුසන්ත ගැන කරුණු කාරණා විමසීය.

මේ අතර සම්පත්ට යළි තොරතුරක් ලැබිණි. ඒ සුසන්තගේ පුංචි අම්මා කෙනකු ගෝනාපීනුවල ප්‍රදේශයේ පදිංචිව සිටින බවය. සම්පත් එහිද ගියේය.

“සුසන්ත නම් මෙහෙ හිටියා. ඒත් දැන් ටික දවසකට කලින් අපි එක්ක  තරහ වෙලා මෙහෙන් ගියා. ඒත් සමහර දවස්වලට මට කෝල් එකක් නම් දෙනවා”

 පුංචි අම්මා සම්පත් රාලහාමිට කීවාය. සම්පත්, සුසන්ත එලෙස කතා කරන දුරකථනයේ අංකය ඇගෙන් ඉල්ලා ගත්තේය. එය විමර්ශනයට මහඟු පිටිවහලක් විය.

ඉන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එම අංකයට අදාළ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනිණි. එය නිරීක්‍ෂණය කිරීමේදී පෙනී ගියේ එම සිම්පත කාන්තාවකගේ නමකට රැගෙන ඇති බවය.

සුසන්ත කාන්තා ඇසුරට ප්‍රිය කරන්නකු බව සම්පත් දැන සිටියේය. ඒ අනුව සුසන්ත අනිවාර්යයෙන්ම එම කාන්තාව සමඟ අනියම් සබඳතාවක් ඇති බවට සම්පත් රාලහාමි සැක කළේය. එම විශ්ලේෂණ වාර්තාවට අනුව ඇමතුම් විශාල ගණනක් එහි සටහන් විය. සම්පත් සිතුවේ එම ඇමතුම් ලබාගන්නට ඇත්තේ සුසන්ත විසින් බවය. ඇගේ නමට දුරකථන සිම්පත මිලදී ගන්නට ඇත්තේ හැමදා පොලිසියෙන් සැඟව සිටීමට වන්නට ඇතැයි සම්පත්ට වැටහුණේය.

ඇය පදිංචිව සිටියේද ගෝනාපීනුවල ගමේය. ඒ අලුත්වල ප්‍රදේශයේය. උප පරීක්‍ෂක පියල් ඇතුළු කණ්ඩායමක් අලුත්වලට යන්නේ ඉන් පසුවය.

නිලධාරීන් අලුත්වලදී එම කාන්තාව මුණ ගැසුණේය. ඇගෙන් ප්‍රශ්න කළේය.

“කෝ සුසන්ත…”

“මෙහෙ නම් නැහැ සර්… එයා මිනීමැරුමකට සම්බන්ධ බවක් නම් මම දන්නේ නැහැ. එයා ගලපිටමඩ පදිංචි කියලා නම් මම දන්නවා. එයා මට කිව්වේ එහේ කවුරුත් නැහැ. ඒක නිසයි මෙහේ ආවේ කියලා. එයා ඉන්නේ මේ ළඟක බෝඩිම් ගෙදරක. මම නම් හරියට දන්නේ නැහැ. මගේ පුතා නම් දන්නවා…”

ඇගේ ප්‍රකාශය මත ඇගේ පුතාද සමඟ ගිය නිලධාරීන් බෝඩිම් කාමරයේදී සුසන්ත කොටුකර ගත්තේය. ප්‍රශ්න කිරීමේදී ඔහු පියසේන මරා දැමූ අයුරු කියන්නට විය.

“එතකොට එතැන වැටිලා තිබුණු සෙරෙප්පුව කාගේද?”

“ඒක මගේ සර්… මට ඒක ගන්න බැරිවුණා තිබුණු කලබලේට…”

පියසේන ඝාතනය කළේ සුසන්ත වන්නට ඇති බව නිලධාරීන්ට තහවුරු වන්නේ ඒත් සමඟය.



“ඇයි තමුසේ ඒ මිනිහව මැරුවේ…” නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කළේය.

“2010 අවුරුද්දේ පියසේනගේ ගෙදර කවුදෝ ඇවිල්ලා එයාගේ බඩු වගයක් හොරකම් කරගෙන ගිහින් තිබුණා. එයා පොලිසියට පැමිණිල්ලක් දාලා තිබුණා ඒක කළේ මම කියලා සර්… මාවත් පොලිසියෙන් අල්ලාගෙන ගියා. පස්සේ ඒක කරපු අය පොලිසියට අහුවුණා.  මාව නිරපරාදේ පොලිසියට අල්ලා දුන්නු එකට මට පියසේන ගැන තිබුණේ තරහක්…”

කාලයක්ම මගේ හිතේ ඒ තරහව තිබුණා. 2021 අප්‍රේල් මාසේ 9 වැනිදා මම යාළුවො කට්ටියක් එක්ක අරක්කු බිව්වා. එදා රෑ 8.00ට විතර මම ගෙදර යන්න කියලා අක්කර 50 රබර් වත්ත මැදින් එනකොට පියසේන මුහුණට මුහුණ හම්බ වුණා. එතැනදී අපි දෙන්නා රණ්ඩු වුණා…”

“ඉන් පස්සේ තමයි සර්…”

සැකකාර සුසන්ත රහස් පොලිස් නිලධාරීන් හමුවේඹ  කීවේය. එම ආරවුල අවසන් වන්නේ පියසේනට පහරදී ඔහුගේ ගෙලද සිර කිරීමෙන් අනතුරුවය. ගෙල මිරිකීමෙන් මියයන පියසේනගේ සිරුර රබර් වත්තේම අතහැර දමා පලා යන සැකකරු ඊට මාසයකට පසු කාටත් හොරා විදෙස් ගත වන්නේ අපරාධයක් සිදුකොට සැමදා සැඟව සිටිය හැකි බව සිතමින් වුවද එම සිතිවිල්ල නිවැරැදි නොවීය.

අපරාධයක් කොට කිසිදා සැඟව සිටිය නොහැකි බව තහවුරු වන්නේ මෙවන් අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට තරම් දක්‍ෂ නිලධාරීන් පොලිසියේ සිටීම නිසාය. මාස 42ක් එලෙස සැඟව සිටි සුසන්ත පසුගියදා මෙලෙස අත්අඩංගුවට ගැනිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ අධීක්‍ෂණය මත උප පොලිස් පරීක්‍ෂක පියල්, සැරයන් මහේෂ් (10033), කොස්තාපල්වරුන් වූ සම්පත් (70701), දේශප්‍රිය (97047), විජේකෝන් (104808) සහ කොස්තාපල් රියැදුරු චාමික (16471) යන නිලධාරීහු මෙම විමර්ශනයට එක්ව සිටියහ.

පොලිස් විමර්ශන ඇසුරෙනි

වාර්තාව - කීර්ති මෙන්ඩිස් - ඡායාරූප: නිහල්සිරි ගම්ලත්