sampanthan-house

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක අභාවප්‍රාප්ත ආර් සම්පන්දන් මහතාට දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි විපක්ෂනායක නිල නිවෙස ඔහු මියගොස් මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් රජයට බාර දී නැතැයි වාර්තා වේ.


මෙම නිල නිවෙස ඔහුට දිගටම පාවිච්චි කිරීම සඳහා අවසර දී තිබුණේ කැබිනට් අනුමැතියකිනි. මෙම නිවෙස නැවත රජයට ලබා ගැනීමට නම් එම තීන්දුව වෙනස් කරමින් අලුත් කැබිනට් තීන්දුවක් ගත යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.




මෙම නිල නිවෙස නැවත රජයට ලබා ගැනීම සඳහා අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකාවක් එවකට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට බාරදී තිබුණ ද ආණ්ඩුව වෙනස් වීමත් සමග කැබිනට් අනුමැතිය ගැනීම නතර වූ බව දැනගන්නට ඇත. එම පත්‍රිකාව නව අමාත්‍ය අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට බාරදීමට කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සම්පන්දන් මහතා 2015 වර්ෂයේදී විපක්ෂ නායක ධුරයට පත් වීමෙන් පසු ඔහුට මෙම නිල නිවෙස හිමිවිය. අනතුරුව 2018 ඔක්තෝබර් 26වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වී දින පනස් දෙකේ ආණ්ඩුවෙන් පසු යළි විපක්ෂ නායක ධුරයට පත් වුවද සම්පන්දන් මහතාට එම නිල නිවෙසේ තවදුරටත් සිටීමට රාජපක්ෂ මහතා අවස්ථාව දුන්නේය.




අනතුරුව යහපාලන ආණ්ඩු සමයේදී එවකට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව කැබිනට් මණ්ඩලය 2019 වර්ෂයේ පෙබරවාරි 26 ගත් තීරණයක් මත සම්පන්දන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙසට සිටින තුරු එම නිවෙස පාවිච්චි කිරීමට අවසර දී තිබිණ.මෙම නිල නිවෙසේ ජල බිල්පත්, විදුලි බිල්පත්, දුරකතන බිල්පත් සහ නඩත්තු වියදම් රජය දරන බවත් නිල නිවෙසේ නඩත්තු කටයුතු කරන සේවයන්ට වැටුප් දෙන්නේද රජයෙන් බවත් වාර්තා වේ.


එම නිවෙසේ අලුත්වැඩියා කටයුතු සඳහා 2017 වසරේ රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක මුදලක් ද වැයකර ඇතැයි ආරංචි මාර්ග පවසයි. සම්පන්දන් මහතාට විපක්ෂ නායක ධුරය අහිමිවීමෙන් පසුව ඔහු මිය යන තෙක්ම එම නිවෙසේ ජීවත්විය. ඔහු මියගියේ  පසුගිය ජුලි 1 වැනිදාය.

(සුජිත් හේවාජුලිගේ)