නැසීගිය හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්පන්දන් මහතා මියයෑමට පෙර පාවිච්චි කළ විපක්ෂ නායක බංගලාව ලබන මස 17 වැනිදා රජයට බාරදෙන බව ඔහුගේ දියණිය අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයට ලිපියකින් දැනුම් දී ඇත.
සම්පන්දන් මහතා 2015 වර්ෂයේදී විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු ඔහුට මෙම නිල නිවෙස හිමිවිය. 2018 වර්ෂයේදී විපක්ෂ නායක ධුරය අහිමිවීමෙන් පසුව ද සම්පන්දන් මහතාට මෙම නිල නිවෙසේ දිගටම ජීවත්වීමට අවස්ථාව ලැබිණ. ඒ යහපාලන ආණ්ඩු සමයේදී එවකට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙනි.
සම්පන්දන් මහතා මියගියේ පසුගිය ජුලි 1 වැනිදාය. මියගොස් මාස තුනක කාලයක් ගතවී ඇතත් තවමත් එම නිල නිවෙස පවතින්නේ ඒ මහතාගේ පවුලේ සාමාජිකයන් බාරයේය. මේ අතර මෙම නිල නිවෙස සම්පන්දන් මහතාට දිගටම පාවිච්චි කිරීමට අවසර ලැබුණු කැබිනට් පත්‍රිකාව වෙනස් කිරීමට ද රජය කටයුතු කරමින් සිටී.මෙම නිල නිවෙසේ ජල බිල්පත්, විදුලි බිල්පත්, දුරකතන බිල්පත් සහ නඩත්තු වියදම් රජය දරන අතර නිවෙසේ නඩත්තු කටයුතු කරන සේවකයන්ට වැටුප් දෙන්නේ ද රජයෙන් බව දැනගන්නට ඇත.
සුජිත් හේවාජුලිගේ
0 Comments