sanath-jayasooriya

ඇතැම් දේවල් සිදුවන්නේ කාගේවත් වුවමනාවටම නොවේ. ඒවා ඒ විදිහට සිදුවෙන්නට නියමිත නිසාය. ලන්ඩන් නුවර ඕවල් පිටියේදී පැවැති ටෙස්ට් තරගයට සති කීපයකට පෙරාතුව සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වූයේත් එපරිද්දෙනි.

“ඉතිහාසය, යළි යළිත් එකම දේ කරයි. එහෙත් ඒ වෙනස් ස්වරූපවලිනි" යන්න ලෝ ප්‍රකට කියමනකි. මේ කියමනේ සැබෑව මේ මාසයේ මුල් සතියේදීම ලන්ඩන් ඕවල් පිටියේදී දැකගත හැකි විය. එලෙසින්ම, දශක දෙකකට පමණ එපිටින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ කාමරයේ සිදුවූ දේ යළිත් වරක් සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන නැඟී සිටීම සම්බන්ධයෙන් කළ අදහස් විමසීමකදී වත්මන් පුහුණුකරු සනත් ජයසූරිය මහතා සිය හඬ අවදි කළේ මෙලෙසිනි.
'' මට ඕන වුණා ඒ ගොල්ලන්ට අවශ්‍ය ආත්ම විශ්වාසය දෙන්න. මූලික වශයෙන්ම ඒ ගොල්ලන්ට මා කෙරේ විශ්වාසයක් තියෙන්න ඕනා. ඒ ගොල්ලන් මාව විශ්වස කරන තැනට ආවා”

“මේගොල්ලන්ට දක්‍ෂතාව තියෙනවා.”

“ඒත් ඒ ගොල්ලන් වරින් වර ඒ දක්ෂතා අතරට ආවා මිසක් දීර්ඝ කාලයක් එක වගේ හොඳට ක්‍රීඩා කළේ නෑ. ඒකට තමන්ගේ පුහුණුකරුවා කෙරේ තියෙන විශ්වාසයයි, තම තමන්ගේ ආත්ම විශ්වාසයයි හරිම වැදගත්.

“ඒ ගොල්ලන් කණ්ඩායම ඇතුළට එනකොටම බලන්නේ එතන ඉන්නේ කවුද කියලයි”

“ඒ ගොල්ලන් දන්නවා මම කිසියම් තරමකට ක්‍රිකට් ගහලා තියෙනවා කියලා. ඒ ගොල්ලන්ට වඩා ක්‍රිකට් ගහලා තියෙනවා කියලා. ඒ වුණත්, ඒ ගොල්ලන්ගේ ගෞරවය පුහුණුකරුවාට ලැබෙන්නේ නැතිනම් ඒක කරන්න අමාරුයි" වර්තමාන සාර්ථකත්වයේ රහස ජයසුරිය මහතා පැහැදිළි කළේ එලෙසිනි.

සනත් ජයසූරිය නම් හුරුබුහුටි කොලු ගැටයා, යන්තම් 20 හැවිරිදි වියේදී, ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වන විට එතැන සිටියේ දුලිප් මෙන්ඩිස්ය මහතාය. ‘දුලිප් මෙන්ඩිස්' යනු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ නොකළ දෙයක් නොමැති දැවැන්ත චරිතයකි.

දුලිප් මෙන්ඩිස් මහතා ක්‍රීඩකයන්ට යමක් කීවේද, එය ක්‍රීඩකයන්ගේ ආගම විය.

වතාවක් පන්දු යැවීම සම්බන්ධයෙන් දුලිප් මෙන්ඩිස් මහතා සනත් ජයසූරියට කී කතාවක් ජයසූරිය මහතා අදත් සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙනි. එහි ප්‍රතිඵලය වූයේ ෂේන් වෝන්ට වඩා එක්දින කඩුලු සංඛ්‍යාවක් සනත් ජයසූරියගේ නමට ඉදිරියෙන් සටහන් වීමයි.
එක්දින තරග වලදී සනත් ජයසූරියට කඩුලු 323 කි. ෂේන් වෝන්ට කඩුලු 293 කි. ටෙස්ට් තරග වලදීත් සනත් ජයසූරිය නමට ඉදිරියෙන් කඩුලු 98 ක් ඇත්තේ ඔහු පිත්තෙන් ලබාගත් ත්‍රිත්ව ශතකයත්, ද්විත්ව ශතක දෙකක් ඇතුළත් ලකුණු 6973 ට අමතර වශයෙනි.



“දැන් ඒ ගොල්ලන්ට අවශ්‍ය විශ්වාසය වගේම ගෞරවනීය බවත් ක්‍රීඩකයන්ගේ කාමරය ඇතුළේ තියෙනවා. ඒ එක්කම ඒ ගොල්ලන්ට අවශ්‍ය ආත්ම විශ්වාසය මම එයාලට දෙනවා"

“ඕන කෙනෙක්ට ඇවිදින් ඕන දෙයක් මට කියන්න පුළුවන්. නිදහසේ කියන්න පුළුවන්”

“ක්‍රිකට් වෙන්න පුළුවන්. වෙනත් දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් කණ්ඩායම ඇතුළේ වෙන දෙයක් වෙන්න පුළුවන්..... මේ ඕන දෙයක්, කෙළින්ම ඇවිදින් මට කියන්න එයාලට නිදහස තියෙනවා. මම ඒ නිදහස එයාලට දීලා තියෙන්නනේ...."

“ඒ එක්කම මම කියපු යෙක් තමයි ඕගොල්ලන් ගිහිල්ලා ඕගොල්ලන්ගේ ක්‍රිකට් එක සෙල්ලම් කරන්න කියන එක"

“ඒකට සීමා මායිම් නෑ... ඒක තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩාව..... අපිටම ආවේණික වෙච්ච, ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව"

" මේ තත්ත්වයත් එක්ක එයාලා ටිකෙන් ටික ඒගොල්ලන්ගේ ස්වභාවික තත්ත්වයට ආවා. ඒ ගොල්ලන්ට පහසුවක් දැනුණා. ක්‍රීඩකයන්ගේ කාමරය හොඳයි... නිදහස්... ඕන දෙයක් කියන්න, නිදහසේ කතාකරන්න පුළුවන්... මෙන්න මේ වගේ දේවල්.."
“ඒ එක්කම එයාලා එයාලගේ ක්‍රීඩාවෙන් කිසියම් විනෝදයක්, වින්දනයක් ලැබුවා"

“ක්‍රීඩකයන්ගේ කාමරය තවත් එක රස්සාවක් කරන තැනක්, නැත්නම් ලොක්කාට බයේ ජීවත් වන තැනක් වුණේ නෑ..."
“මේක තමයි වෙනස....”

“ඒක ඉන්ද්‍රජාලයක්වත් නැත්නම් හාස්කමක් වත් නෙමේ. සාමාන්‍ය වශයෙන් ගත්තාම මූලික දේවල්..." යයි ජයසූරිය මහතා පැහැදිළි කළේය. .

ක්‍රීඩකයන්ගේ කාමරය එසේ වුවත් පුහුණු තීරුව නැතිනම් පුහුණු දැළ ඇතුළත එසේ නොවේ. එහි දැඩි විනයක් ඇත. එක එක්කෙනාට ඕනෑ ඕනෑ හැටියට පුහුණු දැළ තුළ කටයුතු කළ නොහැකිය. එහි ඇත්තේ සැලැස්මකි.

“පුහුණුවීම් වලට ගියාම අපි ඉතාම තදින්, දැඩි කැපවීමෙන් ඒක කරනවා."

“කට හරි විවේකයක් ඕන නම් මම ඒ අයට විවේකයක් දෙනවා. ඒ වගේම පන්දු යවන්නන් ගැනත් බලාගන්න ඕනේ. මොකද අසිත (ප්‍රනාන්දු ) දීර්ඝ කාලයක් තිස්සේ හැම ආකාරයේම (ටෙස්ට් එක්දින විස්සයි-20) අන්තර්ජාතික තරග වල යෙදෙනවා. ඒක පහසු දෙයක් නෙමේ. ඒ නිසා ඒ වගේ පන්දු යවන්නන්ව හොඳින් බලාගන්න ඕනේ" “ඉතින් අපි ඒක කරනවා..."

“ ඒ වගේම තමයි කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය. අපි කතාකරලා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා... අපි නිතරම කතා කරනවා. මොකද මට එයාලගේ සහයෝගය හැම තිස්සේම ඕනා"

“ටෙස්ට් තරගයක් නම් ඊළඟ දවස් පහේදි අපි කරන්නේ මොනවාද කියලා එයාලා එක්ක සැලසුමක් හදාගන්නවා. මේක කණ්ඩායමක් හැටියට කරන දෙයක්"



“හැබැයි අපි පුහුණුවීම් වලට ගියාම එතන ටිකක් තදයි. පුහුණුවීම්වලදී කාටවත් බුරුළක් නෑ. මොකද අපි හොඳින්ම දන්නවා අපේ දක්ෂතා තියෙන අංශ දොනවාද? දුර්වලතා තියෙන්නේ කොතැනද කියලා. ඒ නිසා අපි ඒවා ගැන සැලසුම් කරලා, පුහුණුවෙලා, ඒක මැද්දේදි (තරගයේදී) ක්‍රියාත්මක කරනවා." ශ්‍රී ලංකා කණ්ඩායම හිස එසවීමේ පසුබිම එයයි. කණ්ඩායමේ සිටින සෑම ක්‍රීඩකයකු පමණක් නොව, සහාය කාර්ය මණ්ඩලයට එක්වන විදේශිකයකු පවා ‘සනත් ජයසූරිය’ යනු කවුරුන්ද යන්න හොඳින් දනී. ජයසූරිය මහතා ඔවුන් කිසිවකු අමතා යමක් කියන සෑම අවස්ථාවකදීම ඔව්හු ජයසූරිය මහතාගේ වදන් 100% ක්ම විශ්වාස කරති.

තමන්ගේ දේශකයා, ගුරුවරයා, පුහුණුකරුවා ඇදහීම, ඔහුට පූර්ණ අවධානය දීම, ගෞරවය සහ පිළිගැනීම සාර්ථක්තවයේ මූලික අඩිතාලමයි.

කොන්ත්‍රාත් පදනමක් මත, මාසයකට ලැබෙන ඩොලර් සංඛ්‍යාව සටහන් කෙරුණු කඩදාසියකට අත්සන් තබා, රාජකාරි බාරගන්නා විදේශිකයකුට වඩා හදවතින්ම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳුණු ශ්‍රී ලාංකීය දැවැන්තයකුගේ මිල කළ නොහැකි වටිනාකම එයයි.

2023 දෙසැම්බරයේ සිටම සනත් ජයසූරිය මහතා කටයුතු කරමින් සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු වශයෙනි. එහෙත් විස්සයි- 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව, හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ නික්ම යෑමෙන් පසුව කණ්ඩායම අතරමංවීම නිසා ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයට පෙරාතුව ජයසූරිය මහතා තාවකාලික පුහුණුකරුවාගේ කාර්යය' බාරගත්තේය. නවසීලන්තය පරාජය කරන තුරුම සනත් ජයසූරිය මහතා කටයුතු කළේ තාවකාලික පුහුණුකරුවකු වශයෙනි.

එහෙත් නවසීලන්තය 2-0 කින් පරාජය කිරීමත් සමගම සනත් ජයසූරිය මහතාට ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් වසරක කොන්ත්‍රාත්තුවක් පිරිනැමිණ.

“ඉතාම දැඩි මානසික ආතතියකට මුහුණ දීමට සිදුවන අන්තර්ජාතික කණ්ඩායමක පුහුණුකරු තනතුර බාර ගන්න එපා” යයි වෛද්‍ය උපදෙස් තිබියදීත් ජයසූරිය මහතා ‘හා' කීවේය. ඔහු එසේ කීවේ අඩු තරමේ පුහුණුකරුවාගේ කොන්ත්‍රාත්තුව කුමක්ද යන්න අතටවත් නොගෙනය.
“ඕක හදලා මට පස්සෙ එවන්න” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා කී ජයසූරිය
මහතා සාකච්ඡා කාමරයෙන් පිට වී ක්‍රීඩකයන්ගේ කාමරය වෙත ආවේය.
“අපිට විශ්ලේෂකවරයකුත් ඉන්නවා. අපි අපේ ක්‍රීඩකයන්ව වගේම අනෙක් කණ්ඩායමේ ක්‍රීඩකයන් ගැනත් විශ්ලේෂණය කරනවා.

අයගේත් සහයෝගය අරගෙන තමයි මම ක්‍රීඩකයන්ට යමක් කියන්නේ. ඒත් මූලික වශයෙන්ම ක්‍රීඩකයන් දන්නවා මම කවුද කියන එක. ඒ හින්දා එයාලා මාව විශ්වාස කරනවා.
"මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පූර්ණ සහයෝගය ලැබෙනවා. නැත්නම් මට මේ වගේ දෙයක් කරන්න ලැබෙන්නේ නෑ" යයි ද ජයසූරිය මහතා කීවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් වෙත කෘතවේදී හැඟීමකිනි. ලෝක මට්ටමේ දස්කම් දක්වන උදවිය පාලනය කිරීම බෙහෙවින් අසීරු කාරියකි. ඔව්හු හිතුවක්කාරයෝම වෙති. නම් වශයෙන් සඳහන් කළහොත්, ෂේන් වෝන්, ඉයන් බොතම් සහ ආර්ජන්ටිනාවේ පාපන්දු නායකයාව සිටි ඩියාගෝ මැරඩෝනා ද අංක එකේ හිතුවක්කාරයෝ වූහ.

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේත් එවැනි අය නැතුවා නොවේ. 1995 දී ඩැග්නෙල් වට්ටෝර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය බාරගත් අවදියේදීත් කණ්ඩායමේ නාහෙට නාහන දෙදෙනෙක් සිටියහ. වරක් පමා වී පුහුණුවට පැමිණි මේ දෙදෙනාට එන්. සී.සී. පිටියේ “වට දෙකක් දුවන්න" යයි කී කල්හි ඔව්හු ඊට විරෝධය පෑහ.



වටමෝර් මහතාගෙන් එවකට ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාව සිටි ආනා පුංචිහේවා මහතාට දුරකතන ඇමතුමකි.

"චෙයාමන්, මේ ගොල්ලා මම කියන දේ කරන්නේ 272.. මඟහරිනවා නැත්නම් නැත්නම් නිදහසට කරුණු කියනවා” වට්ටෝර් මහතා ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාට පැමිණිලි කළේය.

“ඩැවී...!, ඔබ කැමති ඕනම තීරණයක් ගන්න... මම ඔයාගේ තීරණයත් එක්ක ඉන්නවා" යයි ආනා පුංචිහේවා මහතාගේ ක්‍ෂණික ප්‍රතිචාරය ප්‍රතිචාරය විය. එතැනින් පසුව සිදුවූ දේ ඉතිහායේ සටහන් වී තිබේ. විස නැසීමට ප්‍රතිවිෂ දීමට සිදුවන අවස්ථාත් තිබේ. අනවශ්‍ය යමක් සිදුවෙමින් යන විට ජයසූරිය මහතා ප්‍රශ්නයේ කර මුලින්ම අල්ලාගනී. අදාළ පුද්ගලයා ළඟට කැඳවා ගන්නා හෙතෙම කියන්නට ඇති දේ ලුණු ඇඹුල් ඇතිවම කියා දමයි. ප්‍රශ්නය එතැනින් අවසානය. ප්‍රශ්න ඇති කරනෝත් ඒ බව දනිති. ඇරත් සනත් ජයසූරිය වැනි දඩබ්බරයකු සමග දිගින් දිගටම හැප්පෙමින් ඉදිරියට යා නොහැකි බව සියලු දෙනාම දනිති. එතැනදී හිස නමා නොගතහොත් තත්ත්වය වඩාත් බැරෑරුම් වන බව දන්නා ඔව්හු යහපත් ලෙසින් ප්‍රතිචාර දක්වති.
ක්‍රීඩකයකු වශයෙන් ලෝකයක් දිනූ තැනැත්තකු වුවත්, වත්මන් පුහුණු කරුවා ක්‍රීඩකයන්ගේ මත ඉවසන්නෙකි. ඔවුන්ගේ අදහස් විමසන්නෙකි. දේ සුබවාදී ලෙසින් හොඳ පිළිගන්නෙකි.

“මම හැමතිස්සේම කියනවා. මම බොහෝ වෙලාවට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් එක්ක ළඟින් ඉඳන් කතා කරනවා. මම එයාලට කියන්නේ හිතේ තියෙන දෙයක් කියන්න කියලයි. අනෙක් ක්‍රීඩකයන්ට වුණත් මම කියන්නේ ඕනම වෙලාවක ඇවිදින් ඕන දෙයක් මට කියන්න කියලයි”
“ඒ ආත්ම විශ්වාසය ඔවුන්ට දෙන්න වෙනවා. රමේෂ් මෙන්ඩිස්ව (පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 6 යි) වුණත් දෙවැනි ටෙස්ට් තරගයෙන් අපි එළියේ තියන්න ඉස්සර වෛලා අපි එයාට කතා කරලා පැහැදිලි කරලා දුන්නා අපට අවශ්‍ය දේ මොකක් ද කියන එක. එයා ඒක හොඳ හිතින්, කණ්ඩායම වෙනුවෙන් පිළිගත්තා.”

"එහෙම වුණාම, අනාගතයේදීත් අපි ඒ වගේ අය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ විශ්වාසනීවයත්වය ඔවුන්ට තියෙනවා " යයි ද ජයසූරිය මහතා පැවසීය.අවශ්‍යම වේලාවට හරිම තැනට ඇණය ගැනීමට සනත් ජයසූරියට ඇත්තේ උපන් හපන්කමකි. ඒ සම්බන්ධයෙන් සොයාගත හැකි විශිෂ්ටතම උදාහරණය වන්නේ ජයසූරිය මහතා තේරීම් කමිටු සභාපතිවරයා වූ 2014 දී විස්සයි-20 කණ්ඩායමේ නායකයාව සිටි දිනේෂ් චන්දිමාල්ට කරුණු පහදා දෙමින්, චන්දිමාල්ව එළියෙන් තියා ලෝක කුසලානය දිනා ගැනීමයි. වත්මන් ටෙස්ට් කණ්ඩායම වඩාත් හොඳින් ස්ථාවර වී ඇති කණ්ඩායමකි. ඉදිරියේ එන වසරක නැතිනම් එක හමාරක කාලය සඳහා අවශ්‍ය ක්‍රීඩකයන් කණ්ඩායමේ සිටින බව පුහුණුකරුවාගේ අදහසයි. ශ්‍රී ලංකාවේ වත්මන් ටෙස්ට් කණ්ඩායම නායකනයන් හතර දෙනකුගේ දායකත්වය ලබන ‘වාසනාවන්ත’' කණ්ඩායමක් ද වෙයි. ධනංජය ද සිල්වා හැරුණු විට ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් මෙන්ම දිමුත් කරුණාරත්නත් එහි සිටිති.

“මේක හරිම වාසනාවන්ත තත්ත්වයක්.ඒගොල්ලන්ට හැම තිස්සේම කියන දෙයක් තමයි තමන්ට පේන දෙයක් තියෙනවා නම් ඒක අනිත් අයත් එක්ක බෙදාගන්න ' කියන එක. කණ්ඩායම අමාරුවේ වැටෙන වෙලාවලදි නායකයාට විතරක් ඒක කරේ තියන් යන්න බෑ. ඒ වගේ වෙලාවල අනිත් අයගේ සහයෝගය හරිම වැදගත්”

“ඇන්ජි, චන්දි, දිමුත්... මේ තුන්දෙනාම ඒ දායකත්වය 100% ක්ම දෙනවා” යයි ජයසූරිය තහවුරු කළේය. ජයසූරිය මහතා පුහුණුකරු ධූරය බාරගත්තේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවකදීය. 2023 නොවැම්බරයේදී එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ලද අන්ත පරාජයෙන් පසුව 2024 ජූනි මාසයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ලද පරාජයේ තරම කොතෙක්ද යත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් හැඳින්වීමට විවිධාකාරයේ උපහාසාත්මක මෙන්ම අපහාසත්මක යෙදුම් ද සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා විසිරී පැතිරී තිබිණ. එහෙත් ජයසූරිය මහතා නොබියවම කඩා වැටෙන බිත්තියට කර ගැසුවේය.



“මට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමේ  මේක. අපේ සහාය කාර්ය මණ්ඩලය ඒ වෙනුවෙන් ලොකු දෙයක් කරනවා” යයි ජයසූරිය මහතා නිහතමානීවම කියයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් දියුණු කළ යුතු අංශ කිහිපයක්ම තිබේ. පන්දු යවන්නන්ගෙන් කණ්ඩායමට ලැබෙන ලකුණු සංඛ්‍යාව මීට වඩා වැඩිකර ගත හැකිය. දැනට පන්දු යවන්නන්ගෙන් ලැබෙන ලකුණු සංඛ්‍යාව ගැන ජයසූරිය තෘප්තිමත් නැත.

“ඒ ගොල්ලන්ගෙන් (පන්දු යවන්නන්ගෙන්) එන ලකුණු සංඛ්‍යාව මට මදි. මට ඕනේ ඒ ගොල්ලන්ගෙනුත් වැඩිපුර ලකුණු ටිකක් දාගෙන, ලකුණු පුවරුවේ හොඳ ගාණක් පේන්න තියෙන්න” පුහුණුකරුවා කීවේය. පන්දු රැකීමේදී මෙන්ම කඩුලු අතර දිවීමේදීත් ජයසූරියගෙන් බුරුළක් නැත.

“මමත් සෙල්ලම් කරපු කාලෙදි මම හැම ලකුණක්ම වේගයෙන් දිව්වා. මම ඒ හැඟීම මේ කාමරය ඇතුළට ගෙනල්ලා තියෙනවා”

“මම හැමෝටම කියන්නේ පළවෙනි ලකුණට හයියෙන් දුවන්න. දෙකක් තියෙනවා නම් දෙකක් දුවන්න.... දෙක හමාරක් තියෙනවා නම් ඒක ලකුණු තුනක් කරන්න කියන එකයි. ඒකට මම ආසයි කියන එක ඒ ගොල්ලන් (ක්‍රීඩකයන්) දන්නවා. ඒ හින්දා ඒ ගොල්ලත් අමතර උත්සාහයක් අරගෙන ඒක කරනවා”

“මම කණ්ඩායම් රැස්වීම්වලදීත් කියන්නේත් මට කඩුලු අතර දුවන එක ඉතාමත් වැදගත් කියලයි. අනික් එක පන්දු රැකීම..."

තේ පානයට පෙර පැය හතරේදී කොයි තරම් හොඳින් පන්දු රැකීම කළත් තේ පානයෙන් පසුව කම්මැලි වේ නම් ජයසූරියගෙන් ඊට ගැලවීමක් නැත. ඒවාට ඔහු ළඟ අපූරු බෙහෙත් තිබේ. සෑම විවේකයකදීම පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී ඒ බෙහෙත් ක්‍රීඩකයන්ට එන්නත් කෙරේ.

කණ්ඩායමේ ආකල්ප වෙනස් වී ඇති ආකාරය පුදුම සහගතය. පැතුම් නිස්සංකට තරග දෙකේදීම පිත්තෙන් වැඩි යමක් කිරීමට අවස්ථාව ලැබුණේ නැත. එහෙත් ඔහු දැවී යාමෙන් පසුවත්, පුහුණු දැළ තුළට වී පන්දුවට පහර දුන්නේය. කමිඳු මෙන්ඩිස්ව අනුගමනය කරන තවත් පිතිකරුවෝ තම තමන්ගේ පුහුණු සැසිය අවසන් වීමෙන් පසුව වුවත්, වැඩිපුර වේලාවක් අතින් වීසි කරන පන්දුවට මුහුණ දෙති. “අංක එකේ ඉඳන් අංක 7 වෙනකම් පිතිකරුවන් කරන දේවල් අදහාගන්නත් බැරි තරම්.... ඒගොල්ලන් දෙන්න පුළුවන් හැම දේම දෙනවා” ටෙස්ට් හෝ එක්දින තරගයකදී ශතකයක් ලබාගැනීමෙන් පසුව ඒ තරගයේදීම කඩුලු 5 ක් දවාගත හැකි පන්දු යවන්නකු සොයාගැනීම ජයසූරියගේ දිගුකාලීන සිහිනයකි. ඔහු තේරීම් කමිටු සභාපතිවරයාව සිටි 2014 සිටම ඒ වෙනුවෙන් කුරුමානම් අල්ලමින් සිටියේය. දැන් ඔහුට අවශ්‍ය කෙනා මුණගැසී තිබේ.

“අපට දැන් එයාව හම්බවෙලා තියෙන්නේ. අපි එයාව බලාගන්න ඕනා. එයා තමයි මිලාන් රත්නායක " “එංගලන්තෙදි එයා ඔප්පු කළා එයා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කියලා. එයා ඒ වෙනුවෙන් ගොඩක් පන්දුවට පහර දීම පුහුණු වෙනවා. ගොඩක් පන්දු යවනවා. එයාගේ පන්දු රැකීමත් එහෙමයි”

“එයා ලංකාවට හම්බවුණ දුර්ලභ මැණිකක්. දැන් අපි එයාට ආත්ම විශ්වාසය දෙන්න ඕනේ.. හැම වැදගත් තරගයකදීම එයා සෙල්ලම් කරවන්න ඕනේ” “මම එයාට කිව්වේ මෙච්චරයි...”

“මතක තියාගන්න ! ඔයා පන්දු යවන්නෙක්...!! “මට ඕනෑ ඔයාගේ පන්දු යැවීමයි. ඒත් ඔයා හොඳ පිතිකරුවෙක් කියන එකත් අමතක කරන්න එපා. පන්දු යවන්කුට තියෙන පිතිකරු හැකියාව අමතර වාසියක්.. ඒක හිතේ තියාගෙන ඉදිරියට යන්න” යයි ජයසූරිය මිලාන් රත්නායකට කීවේය'
(දමින්ද විජේසූරිය)