school-gymnastic-issue

 කොළඹ  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැත්වුණු සමස්ත ලංකා පාසල් ජිම්නාස්ටික් තරඟාවලියේ දී ජයග්‍රහණ ලබාගත් ඇතැම් දරුවන්ට හිමි පදක්කම් තරඟාවලියෙන් පසු දිනෙක ඛෙදා දුන් බවත් තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ලකුණු මට්ටම අඩු ක්‍රීඩිකාවක තෝරාගෙන ඇති බවත් තරඟාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාවට දැඩි අසාධාරණයක් කර ඇති බවත් මවුපියෝ චෝදනාත්මක ස්වරයෙන් පවසති.


ජයග්‍රහණ ලබාගත් දරුවන්ගේ නමක්, පාසලක් සහ ස්ථානයක් පවා ප්‍රචාරය නොකර පදක්කම් පිරිනමන වේදිකාව ද භාවිත නොකරමින් දරුවන්ගේ දක්‍ෂතාද ඇගැයීමට ලක් නොකර සහනාධාර බෙදන අයුරින් පදක්කම් බෙදු බවත් මුළු තරඟාවලියම සංවිධානාත්මක බවකින් තොරව පැවත්වූ බවත් මවුපියෝ සඳහන් කරති.




දරු දැරියන් 65 දෙනකුට පමණ පදක්කම් සහ සහතිකපත්‍රද හිමිනොවූ බැවින් සංවිධායක මණ්ඩලයෙන් ඒ ගැන විමසූවිට ප්‍රතිපාදන නොමැති නිසා පදක්කම්ද නොමැති බව පැවසූ බවත් තරඟාවලිය අවසන් කර දිනකට පසු කොළඹ නිදහස් චතුරශ්‍රයේ ජිම්නාස්ටික් පුහුණුවන ස්ථානයකට පදක්කම් තොගය රැගෙනවිත් වෙනත් පාසලක පුහුණුකරුවකු ලවා දරුවන්ට පදක්කම් ලබාදීම සිදු කළ බවත් මවුපියෝ පැවසූහ.වැඩි දුරටත් අදහස් දැක්වූ ඔවුහු මෙසේද පැවසූහ.


සමස්ත තරඟාවලියම නිසි සංවිධානයකින් තොරවයි පැවැත්වූවේ. ළමයින්ගේ ජයග්‍රහණය ප්‍රචාරය කළේ නැහැ. දරුවන් ඇගයීමකට පවා ලක්කළේ නැහැ. ජයග්‍රහණ ලබාගත් දරුවන්ට පදක්කම් දුන්නෙ සහනාධාර බෙදනවා වගේ. සමහර දරුවන්ට තම ජයග්‍රහණය පෙන්නන්න කොළ කෑල්ලක්වත් නැහැ. අඩුම තරමින් දරුවන්ට පින්තූරයක්වත් නැහැ.දරුවො අපෙන් අහනවා මම මොනවද ඉස්කෝලෙට පෙන්නන්නෙ කියල.




සමස්ත තරඟාවලියටම පදක්කම් 135 ක් අවශ්‍ය වෙලා තිබුණා. තිබුණෙ පදක්කම් 70 යි. ජයග්‍රහණ ලබාගත් දරුවන් 65 දෙනකුට පදක්කම් සහ සහතිකපත්‍ර නැහැ. ඒ ගැන ඇහුවාම ප්‍රතිපාදන නැහැ කීවා. එහෙම කියල ඉකුත් 1 දා වෙනත් පාසලක ජිම්නාස්ටික් ගුරුවරයකු නිදහස් චතුරශ්‍රයට ගෙන්නල අවිධිමත් ලෙස පදක්කම් ටික බෙදුවා. සමස්ත ලංකා තරඟාවලියක ජයග්‍රාහකයන්ට පදක්කම් බෙදුවේ ඒ විදියට.

තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව තේරීමේදී වැඩිම ලකුණු ලබාගත් දරුවා සිටියදී සංවිධායක මණ්ඩලයේ වුවමනාවට තුන්වැනි ස්ථානය ලබාගත් ක්‍රීඩිකාවට දක්ෂතම ක්‍රීඩිකාවට හිමි පදක්කම දුන්නා. වැඩිම ලකුණු ලබාගත් දරුවාට විශාල අසාධාරණයක් කළා. තරඟාවලියේ වැඩිම ලකුණු ලබාගත්තේ නුගේගොඩ පාසලක දරුවෙක්. දෙවැනියා ගාල්ලේ පාසලක දරුවෙක්. ඒත් ළමයින් දෙන්නෙක්ම කපාදාල තුන්වැනියා තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව කළා. සංවිධායක මණ්ඩලය දරුවන්ගේ මානසිකත්වය බිංදුවටම ඇද දැම්මා. මේ සම්බන්ධව ජනපති සහ ක්‍රීඩා අමාත්‍යවරයාත් අවධානය යොමුකළ යුතුයි. මෙවැනි නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියා ඉල්ලා සිටිනවා.


අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් ජී.ජී. අනුර අබේවික්‍රම මහතා මෙසේ කීය.




පදක්කම් එහෙම එක එක තැන්වල තියාගෙන දෙන්න බැහැ. ක්‍රීඩා අමාත්‍යංශයෙන් පවත්වන තරඟාවලියකට අවශ්‍ය පදක්කම් ප්‍රමාණය පොත්වල සටහන් කරල සංවිධායක මණ්ඩලයට සම්බන්ධ නිලධාරියකුගේ අත්සන් ඇතුව තමයි බාර දෙන්නෙ. තරඟාවලිය අවසානයේ ඉතුරුවෙන පදක්කම් ටික නැවත අදාළ නිලධාරියා අත්සන් කරල අමාත්‍යංශයටම බාර දෙන්න ඕන. පදක්කම් පිරිනමන වෙලාවේ ජයග්‍රාහකයාට පදක්කම ලබාගන්න නොහැකි වුණොත් ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ හෝ අනන්‍යතාව සොයාගෙන ඒ පදක්කම අදාළ පාසලටම යවනවා.


මේ කියන විදියට පදක්කම් බෙදීමක් වෙලා තියෙනවා නම් ඒක බරපතළ වරදක්. ඒ සම්බන්ධව මම දැනුවත් නැහැ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා. පදක්කම් අඩුවෙන්න විදියක් නැහැ. ප්‍රතිපාදන නැතුව තරඟ තියන්න බැහැනෙ. තරඟාවලියට අවශ්‍ය ප්‍රතිපාදන පාස් කරගෙන තමයි තරඟාවලිය ආරම්භ කරන්නෙ. එහෙම දෙයක් වුණේ කොහොමද හොයන්න පරීක්‍ෂණයක් කරනවා.


දක්‍ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තේරීමේදී වයස් කාණ්ඩයෙන් වැඩි දරුවන්ට ඒ අවස්ථාව දෙන්න තීරණය කර තිබුණා. එහෙම තීරණයක් ගත්තෙ වයසින් අඩු දරුවන්ට කාලය තියෙන නිසා. ඒ අනුව තමයි ඒ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරාගත්තේ.නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා තික්ෂණා එස්. ලියනපටබැඳී මහත්මිය මෙසේ පැවසුවාය.


එතැන පොඩිපොඩි අඩුපාඩුකම් ටිකක් වුණා තමා. පදක්කම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අස්ථානගත වෙලා තිබුණා. පසුව ඒවා සොයා ගත්තා. එදා පදක්කම් දෙන්න බැරිවුණු සෑම ළමයකුටම පදක්කම් දීල ඉවරයි මේ වෙද්දී.තරඟාවලිය අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කර තිබුණු අතර පසුගිය 28 සහ 29 යන දිනයන්හී එය පැවැත්විණි.
( ප්‍රියන්ත ජයලත්)