sf-lokka-police-murder

 හිටපු සහකාර පොලිස් අධිකාරිවරයකුගේ, උප පොලිස් පරීක්ෂකවරයකුගේ, පොලිස් සැරයන්වරයකුගේ සහ කාන්තාවකගේ ඇතුළු තවත් සිවිල් පුද්ගලයකුගේ නමින් වෙන් වෙන් වශයෙන් මෙරට සියලු බැංකුවල පවතින ගිණුම්වලට අදාළ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයට ලබා දෙන ලෙස

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මිය රාජ්‍ය සහ පෞද්ගලික බැංකු එකොළහක කළමනාකාරීත්වයට නියෝග කළාය. මෙලෙස වෙන් වෙන් වශයෙන් අදාළ නියෝග ලබා දෙනු ලැබුයේ ජාතික සංවර්ධන බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව,

නේෂන් ට්‍රස්ට් බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන බැංකුවල කළමනාකාරිත්වයටය.

මෙම බැංකු සමූහයේ කළමනාකාරීත්වයට අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා මෝසමක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.


අදාළ වැඩිදුර වාර්තාව මගින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නීති විරෝධී, දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා අධිකරණයට කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ ඉරෝෂන් රණසිංහ නොහොත් එස්එෆ් ලොක්කා නමැත්තා ඝාතනය කිරීම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික පේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය

සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශන අරඹා දැනටමත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ ඉරෝෂන් රණසිංහ නොහොත් එස් එෆ් ලොක්කා ඝාතනය කිරීම යම් පොලිස් නිලධාරීන් පිරිසකගේ සහ තවත් සිවිල් පුද්ගලයන් කිහිප දෙනකුගේ දැනුවත් වීම සහ සහභාගිත්වය මත සිදු කර ඇති බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරණා මහතා අධිකරණයට සඳහන් කළේය. ඒ අනුව මෙම අපරාධ කිරීම සඳහා යම් පිරිසක් පොලිස් නිලධාරීන් පිරිසකට සහ වෙනත් සිවිල් පුද්ගලයකුට මුදල් දී ඇත්ද යන්න පිළිබඳව සැකයක් පවතින බව ද අධිකරණයට දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ බව තහවුරු කර ගැනීම සඳහා හිටපු සහකාර පොලිස් අධිකාරිවරයකුගේ, පොලිස් පරීක්ෂකවරයකුගේ,පොලිස් සැරයන්වරයකුගේ සහ කාන්තාවකගේ නම් වලින් මෙරට සියලු බැංකුවල පවතින ගිණුම් පිළිබඳ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වී ඇති බව ද කීවේය.


ඊට අමතරව “මදුමල් නිවස” කුඩා පාලාඩි කුලම, අනුරාධපුර ලිපිනයේ පදිංචි ජේ.එම්. කසුන් මධුසංක කරුණාරත්න නොහොත් “බැටා” නමැත්තා නමින් මෙරට බැංකුවල පවතින බැංකු ගිණුම් පිළිබඳ විස්තර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන සඳහා අවශ්‍ය බව ද අධිකරණයට සැලකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කසුන් මධුසංක කරුණාරත්න

නොහොත් බැටා නමැත්තාට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ සිද්ධිවලට අදාළ පෙර වැරදි තුනක් පවතින බව ද කීය.


මෙම අපරාධ සිද්ධීන් වලට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින සියලු නඩු ලේඛන අධිකරණ සේප්පුවේ ආරක්ෂිතව තබන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරන ලෙසට ඉල්ලා සිටියේය.එමෙන්ම ඉහත පොලිස් නිලධාරීන්ගේ සහ අනෙකුත් සිවිල් පුද්ගලයන්ගේ නමින් මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල පවතින සියලු ගිණුම්වලට අදාළ විස්තර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මුදා හරින ලෙසට සියලු බැංකු කළමනාකාරීත්වයට නියෝග කරන ලෙසට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අයැ ද සිටියේය.


මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මිය මෙම අපරාධ සම්බන්ධයෙන් මෙරට සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල කළමනාකාරීත්වයට නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින හිටපු පොලිස් නිලධාරීන්ගේ සහ සිවිල් පුද්ගලයන්ගේ බැංකු ගිණුම් වාර්තා ඔවුනට ලබා දෙන ලෙසයි. එමෙන්ම මෙම අපරාධ සිද්ධීන්වලට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු ගොනු ලේඛන අධිකරණ සේප්පුවේ ආරක්ෂිතව තබන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට තවදුරටත් නියෝග කළාය.

 උපාලි ආනන්ද