spass-expressway

“එස් පාස් ” විශේෂ අවසර පත්‍රය මත සහ ඉහළ පෙළේ දුරකතන ඇමැතුම් මගින් ඉකුත් රජයන් සමයේ වසර ගණනාවක් තිස්සේ අධිවේගී මාර්ගය භාවිත කරමින් සිදුවූ අවභාවිතය නව ජනපති බලයට පත්වීමත් සමගම තිත තැබීමට හැකිවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය.




මෙම විශේෂ බලපතූය හේතුවෙන් වාහන 150-200ත් අතර ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොරව දිනකට ගමන් කිරීමෙන් රුපියල් ලක්ෂ ගණනාවක අලාභයක් වී ඇතැයි එම නිලධාරියා කීය.


අධිවේගී මාර්ගයේ නොමිලයේ ගමන් කළ හැකි අය ලෙස ජනාධිපති, අගමැති, මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු වාහන සහ ගිලන් රථවලට පමණක්ම බවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරිය බණ්ඩාර මහතා ගැසට්ටුවේ සඳහන් පරිදි ලබා දුන් ලිඛිත නියෝග අනුව සියලුම මුදල් අයකැමිවරුන් දැනුම්වත් කිරීමට පියවර ගත් බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.එච්. ගුණසිංහ මහතාගෙන් කළ විමසීමකදී පැවැසීය.




ඉකුත් රජයන් සමයේ ජනාධිපති හෝ අගමැති හෝ අධිවේගී මාර්ගයේ ගමන් නොකළත් එස් පාස් (විශේෂ අවසර පත්‍ර ) භාවිත කරමින් දිනකට වාහන 150 ක් 200ක් අතර ප්‍රමාණයක් අධිවේගී මාර්ගයේ ධාවනය වී ඇතැයි ද එම අවසර පත්‍රය නොමැතිව ද ජනාධිපති කාර්යාලයෙන් දුරකතන ඇමතුම් ලබා දෙමින් වෙනත් වාහන සහ ආරක්ෂක අංශයේ වාහන ද අධිවේගී මාර්ගයේ ගමන් කිරීමෙන් දිනකට රුපියල් ලක්ෂ ගණනාවක අලාබයක් මාර්ග සංවර්ධන අධිකාරියට දැරීමට සිදුවී ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.




“එස්” පාස් විශේෂ අවසර පත්‍ර හිටපු ජනාධිපතිවරුන්ට ලබාදීමට අවසර නැතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, ගෝඨාභය රාජපක්ෂ හාමෛත්‍රීපාල සිරිසේන මහත්ම මහත්මීන්ට ද අසීමිත ආකාරයෙන් එස් පාස් පසුගිය සමයේ ඉහළ බලධාරීන්ගේ නියෝග මත නීති විරෝධී ලෙස නිකුත් කර තිබී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. එම බලපත්‍රයෙන් අධිවේගී මාර්ගයේ ගමන් කරනවා නම් එම විශේෂිත පුද්ගලයා සිටිය යුතු බව ගැසට්ටු වේ සඳහන් වුව ද එම බලපත්‍ර බාහිර පුද්ගලයන් අතට පත්වීම හේතුවෙන් එම විශේෂිත  පුද්ගලයන් නොමැතිව ද බලපත්‍රය අවභාවිත කරමින් එක බලපත්‍රයට වාහන 10ක් 15ක් අධිවේගී මාර්ගය ඔස්සේ එක පෙළට ඉකුත් රජයන් සමයේ ධාවනය වී ඇතැයි ද පැවැසේ.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)