sri-lankan-air-captain-resigns

 පසුගිය දා සිඩ්නි සිට කටුනායක බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-607 ගුවන් යානයේ සිදු වූ බරපතල සිද්ධියක් හේතුවෙන් එහි ප්‍රධාන ගුවන් නියමුවා වූ කපිතාන් වජිර වනසිංහ සේවයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.


මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 301 දෙනෙකු රැගෙන ආ A330-300 ගුවන් යානයේ ගමන් කාලය තුළ සිදු වූ මෙම සිද්ධිය ගුවන් ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
ලැබෙන තොරතුරු අනුව, සහයක නියමු අංජලී ෆොන්සේකා ශරීර කෘත්‍යයක් සඳහා නියමු කුටියෙන් පිටව ගිය අවස්ථාවේ, කපිතාන් වනසිංහ විසින් ගුවන් යානා නීති රීති උල්ලංඝනය කරමින් නියමු කුටියේ ප්‍රධාන දොරටුව අගුළු දමා ඇත. මෙම ක්‍රියාව ගුවන් සේවා නීති උල්ලංඝනය කිරීමක් වන අතර, එය මගීන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකිය.
සිද්ධියෙන් කලබලයට පත් ගුවන් සේවක පිරිස ප්‍රධාන නියමුවාට අභ්‍යන්තර දුරකථනයෙන් ඇමතීමෙන් පසු පමණක් ඔහු දොරටුව විවෘත කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව දැනුවත් වූ සහයක නියමුවරි අංජලී ෆොන්සේකා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධානීන්ට මෙන්ම සිය ලොග් සටහන් පොතේද මෙම සිදුවීම වාර්තා කර ඇත.


දැනට මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යන ආයතන තුනෙන්ම ස්වාධීන පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.
සිදුවීමෙන් පසු කපිතාන් වනසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති අතර, සහයක නියමු ෆොන්සේකාගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වසර 45ක ඉතිහාසය තුළ මෙවැනි බරපතල සිදුවීමක් වාර්තා වන්නේ ප්‍රථම වතාවට බව ගුවන් සේවා නිලධාරියෙකු පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර, ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව බලධාරීන් පවසති.