sri-lankan-air-issue

ගුවන් යානා නියමුවන් දෙන්නෙකු අතර පලහිලව්වක් නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තාවේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා ඉකුත් 10/21 දින පැමිණෙමින් තිබූ යූ.එල්.- 607 දරණ ගුවන් යානයෙහි සේවය කළ ප්‍රධාන නියමුවා සහ ඔහුගේ සහායක නියමුවාගේ මෙලෙස වැඩ තහනම් කර,

ඔවුන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

මෙම ගුවන් යානයේ සේවය කළ සහායක නියමුවරයා, සිය ශරීර කෘත්‍ය සදහා වැසිකිළිය වෙත ගොස් ආපසු පැමිණි විට, ප්‍රධාන ගුවන් නියමුවා විසින්, සහායක නියමුවාට යළිත් නියමු කුටියට පිවිසීම සඳහා දොර විවෘත නොකිරීම නිසා මෙම සිදුවීම ඇති වී ඇති බව සඳහන්ය.

මෙම සිදුවීම සඳහා මෙම ගුවන් නියමුවන් අතර ඇති වී තිබූ මතභේදාත්මක තත්වයක් පසුබිම් වී ඇති බවටද අනාවරණය වී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් මගීන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනයේ පිරිවිතරයන් අනුගමනය කරමින්, මෙසේ මෙම ගුවන් නියමුවන්ගේ සේවය අත්හිටුවා, ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
ගුවන් සමාගම අදාළ සිදුවීම ගැන මෙසේ නිවේදනය කර ඇත.



UL607 අංක දරන ගුවන් යානයේ සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිවේදනය

සැප්තැම්බර් 21 දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL607 අංක දරන ගුවන් යානයේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විටත් අදාල අංශ විමර්ශන කටයුතු  ආරම්භකර ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවය අදාළ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන අතර, විමර්ශන වාර්තාව  ලැබෙන තෙක් කපිතාන්වරයා සේවයෙන් ඉවත්කර ඇත. මගී ආරක්ෂාව සහතික කිරීම  සහ සියලු නියාමන අවශ්‍යතා සමඟ අනුකූලව කටයුතු කිරීම  ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රමුඛතාව වේ.