sri-lankan-air-sell

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය ඔස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමට පසුගිය රජය මුල් අවස්ථාවේදී සැලැසුම් කර තිබිණි.

එහෙත් පසුව එවකට සිටි කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කළේ එතෙක් ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමට ගත් තීරණය වෙනස් කළ බවය.


කෙසේ නමුත් මෙරට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශේෂ කාර්ය භාරයක් කළ හැකි බැවින් එම ගුවන් සේවය රජය යටතේ පැවැතිය යුතු බවට ජාතික ජන බලවේග රජය විශ්වාස කරන බව එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දමනවා වෙනුවට එහි කළමනාකාරීත්වය තවත් කාර්යක්ෂම කළ හැකි ආකාරයක් සොයා බැලීමට ජාතික ජන බලවේග රජය කටයුතු කරන බව ද මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේය.




පෞද්ගලික ආයෝජකයකු ආකර්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 510 ක ණය රජයට පවරා ගැනීමට පසුගිය කැබිනට් මණ්ඩලය එකග විය. අවම වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සියයට 51ක කොටස් විකුණා දැමීමට පසුගිය රජය තීරණය කර තිබිණි.
(කැලුම් ඛණ්ඩාර)