suwaseriya-tata-donation

මෙරට ජනප්‍රිය සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියාවේ ටාටා සමාගමේ නව සභාපති නටරාජා චන්ද්‍රසේකරන් මහතා සම්පූර්ණ පහසුකම් සහිත නව ගිලන් රථ 50ක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
සුවසැරිය ව්‍යාපෘතියේ නිර්මාතෘ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම තොරතුරු අනාවරණය කරමින් පැවසුවේ, මෙම පරිත්‍යාගය සුවසැරිය සේවාවේ ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇති බවයි.


දැනට සුවසැරිය සේවාව සතුව ගිලන් රථ 297ක් ඇති අතර, මෙම නව එකතුව සමඟ එම සංඛ්‍යාව 347 දක්වා ඉහළ යනු ඇත. වර්තමානයේ දිනකට හදිසි රෝගීන් 1,050කට පමණ සේවය සැපයීමට හැකියාව ඇති අතර, මෙම නව ගිලන් රථ සමඟ එම ධාරිතාව තවදුරටත් වැඩි වනු ඇත.
"සුවසැරිය සේවාව ඉතා කාර්යක්ෂමව ක්‍රියාත්මක වන අතර, දිනකට මිනිස් ජීවිත 50ක් පමණ අනතුරුවලින් බේරා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා," යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මෙම සේවාව ආරම්භයේදී ටාටා සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 23ක මූලික ආධාරයක් ලබා දී ඇති අතර, එමගින් මුල් ගිලන් රථ මිලදී ගැනීම සිදු කර ඇත. දැනට මෙම සේවාව දීප ව්‍යාප්තව පවත්වාගෙන යාම සඳහා රජය වාර්ෂිකව රුපියල් කෝටි 400ක පමණ මුදලක් වැය කරයි.


මෑතකදී සුවසැරිය සේවාව අධ්‍යයනය කළ ලෝක බැංකු නිලධාරීන් විසින් මෙය ලොව දැනට ක්‍රියාත්මක තාක්ෂණයෙන් ඉහළ වේගවත්ම ගිලන් රථ සේවාවන්ගෙන් එකක් ලෙස හඳුනාගෙන ඇත.
ටාටා සමූහයේ මෙම නව පරිත්‍යාගය සුවසැරිය සේවාවේ තවදුරටත් පුළුල් වීමට හා වැඩිදියුණු වීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම නව ගිලන් රථ එකතු වීමත් සමඟ රටපුරා වඩාත් පුළුල් ප්‍රදේශයකට සේවාව ලබා දීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියෙකු පැවසීය.