thambugala-speaks

තමා විදේශ රටවලින් නීත්‍යනූකූලව උපයාගත් මුදල් හා දේපළවලින් මෙරට ණය බරින් අඬක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි ද තමන් එලෙස උපයා ගත් ධනය සමහර දේශපාලනඥයන් සහ අපරාධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් කොල්ලකෑවේ යැයි ද අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල මහතා අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය හමුවේ පැවසීය.


සමහර දේශපාලනඥයන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් තමාගේ ධනය කොල්ලකෑ බව ඔප්පු කිරීමට ඕඩියෝ සහ වීඩියෝ සාක්කි තමා සතුව ඇතැයි විවෘත අධිකරණයේ දී පැවසු විරන්ජිත් තාඹුගල මහතා මේවා සිහියට නැඟෙන විට සියදිවි නසා ගැනීමට තමාට සිතුණු බවද ප්‍රකාශ කළේය.පොලිසිය බාරව සිටි අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ ඉල්ලීමකට අනුව සෑම පොලිස් ස්ථානයකටම සීසීටීවී කැමරා අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස් මඟින් සවි කර දීමට කැමැති වුවත් මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියලු මුදල් ඔහුගේ අතට දෙන්නැයි කියා ටිරාන් අලස් මහතාගේ කීමට තමා එකඟ නොවීම නිසා ඔහු හා පොලිසිය තමා සමඟ අමනාප වූයේ යැයි ද කීය.




නීති විරෝධී ආකාරයෙන් වත්කම් උපයා ගෙන ඇතැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් විරන්ජිත් තාඹුගල මහතා එසේ පැවසීය. නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ මෙහෙයවීම යටතේ ස්වේඡාවෙන් වැඩිදුරටත් ප්‍රකාශය කළ අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල මහතා මෙසේ ද පැවසීය.


ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහත්තයාගේ පුතා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරගේ බෑනා වන නීතිඥ එරංග වැලිඅංගේ යන මහත්වරු දෙන්නා දවසක් මා හමුවෙන්න ඇවිත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔයාට විරුද්ධව රහස් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව මට කිවා.

‛එම විමර්ශන හරියට කළොත් ලලිත් කොතලාවලට වගේ ඔයාටත් හිරේ යන්න වෙයි කියලත්, ඔයාගේ වත්කම් අත්හිටුවයි කියලත්' එයාලා මට කිව්වා. මෙම විමර්ශනය නවතා ගන්න නම් රහස් පොලිසියේ ඉහළ නිලධාරීන්ට යම් මුදලක් දෙන්න වෙයි කියා ඔවුන් මට කිව්වා.


වත්කම් සම්බන්ධයෙන් මට විරුද්ධව පැවැත්වෙන විමර්ශනය නවත්වන්න නම් රුපියල් කෝටි තිහක මුදලක් තමන්ට ඕනේ කියා එවකට රහස් පොලිසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ ලක්සිරි ගීතාල් නමැත්තන් මට කිව්වා.


පසුව මා ඔවුන් සමඟ කතා කර රුපියල් කෝටි තිහේ කප්පම් මුදල රුපියල් කෝටි දොලහ දක්වා අඩු කර ගත්තා. තවදුරටත් කතා කර කෝටි දොළහේ කප්පම් මුදල කෝටි පහ දක්වා අඩු කරගෙන එම රුපියල් කෝටි පහක මුදල ඔවුන්ට දීමට මා එකඟ වුණා. මා පොරොන්දු වූ කෝටි පහේ මුදලින් රුපියල් කෝටි දෙකක මුදලක් මා ඔවුන්ට දුන්නා. ඊට අමතරව රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්

පරීක්ෂක සම්පත් රාජකරුණටත් තවත් රුපියල් කෝටි දෙකහමාරක මුදලක් මා දුන්නා. මේ මුදල් දුන් බව තහවුරු කිරීමට අවශ්‍ය ඔඩියෝ සහ වීඩියෝ සාක්ෂි මෙන්ම වෙනත් සාක්ෂි රැසක් මා ළඟ තියෙනවා. විශාල මූල්‍යමය වත්කම් ප්‍රමාණයක් මා සතුව තියෙනවා.




එම මුදල් ප්‍රමාණයන් කොපමණද කියා හරියටයම මේ වෙලාවේ කියන්න මට බැහැ. මා ළඟ දැනට තියෙන මූල්‍යමය වත්කම් වලින් මෙරට ණය මුදලින් අඩක් ගෙවා නිම කරන්න මට පුළුවන්. මේ වත්කම් සියල්ල මා විදෙස් රට වලින් නීත්‍යනූකූලව උපයා ගත් ඒවා. ඒ බව ඔප්පු කිරීමේ හැකියාව මට තිබෙනවා. මෙම මුදල් මා මෙරට දී උපයා ගත් මුදල් නොවෙයි. ඒ සියල්ල විදේශ රට වලින් උපයා ගත් ඒවා. දැනටත් විදෙස් රට වලින් මා නීත්‍යනුකූලව මුදල් උපයා ගනිමින් සිටිනවා.


මා සතුව ඇති නීත්‍යානූකූල මෙම වත්කම්වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විවිධ අභූත චෝදනා නගමින් විවිධ බලපෑම් සහ හිරිහැර කරමින් ඉන්නවා. මගේ ඇතැම් බැංකු ගිණුම් පවා අත්හිටුවා තිබෙනවා. කිසිදු පදනමක් නොමැතිව මෙලෙස දිගින් දිගටම ද්වේෂ සහගතව කරන කෙනෙහිලිකම්, බලපෑම් මෙන්ම හිරිහැර සිහියට නැගෙන විට සිය දිවි නසා ගැනීමට මට සිතෙන වාර අනන්තයි. මහජන අරක්ෂාව බාර අමාත්‍යවරයාව සිටි ටිරාන් අලස් මහතා ඇමැතිවරයා වශයෙන් සිටියදී මගෙන් ඉල්ලීමක් කළා ලංකාවේ පොලිස්ථාන අලුත්වැඩියා කර දෙන්න කියලා. ඊට එකඟ වූ මා ඒ සඳහා එස්ටිමේට් එකක් ඉල්ලූවා. ඊට අමතරව සෑම පොලිස් ස්ථානයකටම සීසීටීවී කැමරා එක ගානේ සවි කර දෙන්න මා පොරොන්දු වුණා. මේ සියල්ල මට අයත් ‘අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස්' මගින් කර දෙන්නම් කියා මා අමාත්‍ය ටිරාන් අලස් මහතාට කිව්වා. ඒත් ඔහු ඒකට අකැමැති වුණා. මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියලු මුදල් එයාගේ අතට දෙන්න කියා ඔහු මට කිව්වා. ඒත් මම ඒකට එකඟ වුණේ නැහැ.


එතැන් සිට ටිරාන් අලස් මහතා මා ගැන වෛරයෙන් කටයුතු කළා. රහස් පොලිසියේ නීති විරෝධී දේපළ හා වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් රුපියල් කෝටි 30ක මුදලක් කප්පම් වශයෙන් මගෙන් ඉල්ලීමත් එම කප්පම් මුදල් වලින් කොටසක් ඔවුන් ලබා ගැනීමත් තහවුරු කිරීමට අවශ්‍ය සියලු සාක්ෂි මා සතුව තිබෙනවා.





 රහස් පොලිසියේ නීති විරෝධි ත්කම් විමර්ශන කොට්ඨාසය මගෙන් කප්පම් ඉල්ලීමත් කප්පම් ගැනීමත් යන සිද්ධීන්වලට අදාළ සාක්ෂි එක්රැස් කර ගැනීමට ඒ.එස්.පී. මහානාම මහතාගේ සහය මා ලබා ගත්තා. එලෙස සහාය ලබා ගත් දිනයේ සිට රහස් පොලිසිය ඒ.එස්.පී. මහානාම මහතාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහු පස්සේ පන්නනවා. ඒ.එස්.පී. මහනාම මහතාගෙන් පලි ගන්න උත්සාහ කරනවා.


මෙම තත්වය යටතේ රහස් පොලිසියෙන් මගේ ජීවිතයට විශාල අනතුරක් තියෙනවා. සමහර විට මාව මරා දමන්න වුණත් පුළුවන්. මෙරට ඇතැම් දේශපාලනඥනයන් සහ රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් මගේ ධනය කොල්ලකෑවා. මේ දේවල් කියන්න මට වෙන කිසිදු තැනක් නැහැ. ඒ කියන්න ඇති එකම ස්ථානය මෙම ගරු අධිකරණය පමණයි. අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල මහතා වෙනුවෙන් නීතිඥ හික්කඩුව ලියනගේ ඉසුරි මහත්මිය සමඟ නීතිඥ උපාලි ජයමාන්න මහතා පෙනී සිටියේය.
 උපාලි ආනන්ද