thanamalwila-ice-asanka-edirisinghe-arachchige

අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වීමෙන් පසු තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට රුපියල් ලක්ෂ 10ක් අල්ලස් මුදලක් දී අත්අඩංගුවෙන් මිදීයෑමට උත්සාහ කළ ටෙලි නාට්‍ය නළුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 11 වන දින දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සඳහා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය තණමල්විල පොලිසියට අවසර ලබා දී තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කෙරුණේ තණමල්විල, බළහරුවල ගගේයාය පදිංචි 26 හැවිරිදි එදිරිසිංහ ආරච්චිගේ අසංක නමැති ටෙලි නාට්‍ය නළුවෙකි.



සැකකරු සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරායට ලද පෞද්ගලික තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී සැකකරු 4 වන දා රාත්‍රී තණමල්විල, බලහරුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 300ක් අලෙවි කිරීමට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට පත්වීමෙන් පසු අත්අඩංගුවෙන් මුදා ගැනීම සඳහා ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබා දීමට සැකකරු උත්සාහ කර තිබේ.

එමෙන් ම, සැකකරු වෙනුවෙන් එම අවස්ථාවේදී ම නීතිඥවරයකු ද පොලිස් ස්ථානයට පැමිණ සැකකරුට නීති සහාය ලබා දී තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුට මීට පෙරද තලෙයිමන්නාරම ප්‍රදේශයේ රුපියල් කෝටි 4ක අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ලව නඩු කටයුතු පවත්වා ගෙන යන අතර අයථා වත්කම් ඉපැයීම සම්බන්ධ විමර්ශනයක් ද පවතින බව මූලික පොලිස් පරීක්ෂණවලදී අණවරණය වී තිබේ.



සැකකරු 5 වන දා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මේ මස 11 වන දා දක්වා රැඳවුම් නි‍යෝග ලබා ගෙන තිබේ.

තණමල්විල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වයි.

(ඩී. එන්. ජයසේකර – සූරියවැව)