theldeniya-nai-miris

  තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්දෙණිය පොලිස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) දැනුම් දුන්නේය.

මෙය ඉතාම බරපතල සිද්ධියක් වන හෙයින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටීමට තීරණය කර ඇතැයී දැනුම් දුන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර ඇති නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින්නේ යැයි කීය.



ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ කුමුදුණී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවිණී.

රුවන් ශාන්ත ප්‍රියදර්ශන නමැත්තා ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, නීතිපතිවරයා, ඇතුළු 11 දෙනකු පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.

තෙල්දෙනිය පොලිසියේ නිලධාරීන් විසින් 2023 ජනවාරි 27 වැනිදා තමන් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී අන්දමින් රඳවා තබා ගෙන තමන්ට වදහිංසා කළ බව සඳහන් කරන පෙත්සම්කරු මේ පිළිබඳව තමන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවත් ස`ඳහන් කර ඇත.



තමන්ගේ පැමිණිල්ලට අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේදී තෙල්දෙනිය පොලිසියේ නිලධාරීන් නීතිවිරෝධී අන්දමින් තමන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් නීතිවිරෝධී අන්දමින් තමන් රඳවා ගෙන තමන්ට වදහිංසා කළ බවත් තහවුරු වූ බව සඳහන් කරන පෙත්සම්කාර රුවන් ශාන්ත ප්‍රියදර්ශන නමැත්තා තෙල්දෙනිය පොලිසියේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපයෙන් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා සිටී.



පෙත්සම කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කරුණු දක්වමින් මෙය ඉතා බරලතල සිද්ධියක් වන හෙයින් තමන් වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් පෙනී සිටින්නේ යැයි කීය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොලිස්පතිවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ට නොතීසි යොමු කිරීමට කටයුතු කරන ලෙස පෙත්සම්කරුට නියම කළ විනිසුර මඬුල්ල දෙසැම්බර් 19 වැනිදා පෙත්සම යළි කැඳවීමට නියම කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය සහ නීතිඥ මාධව ඊරියගම මහතා සමඟ නිතිඥ සුරෙන් ඩී. පෙරේරා මහතා පෙනී සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේය.
(බුද්ධිමාල් රුබේරු)