traffic-police-bank-card

පාර්ලිමේන්තු වට රවුමේදී රිය අනතුරකට ලක්ව තුවාල ලබා සිටි අඹුසැමි යුවළක සතු මුදල් පසුම්බිය සොරාගෙන එහි තිබූ ඒ.ටී.එම්. කාඩ්පතෙන් සුපිරි වෙළඳසලකින් රුපියල්16,400 ක් වටිනා බඩු බාහිරාදිය මිලදී ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල් වරයෙක් වැලිකඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට පෙරේදා (30) අත්අඩංගුවට ගනු ලැබීය.සැකකාර කොස්තාපල්වරයා එම රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පැමිණි අවස්ථාවේ අනතුරින් තුවාල ලබා සිටි පුද්ගලයාගේ මුදල් පසුම්බිය හොරකම් කර ඇති බව පොලිසිය කියයි.මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලඹ ඇත්තේ කොළඹ නාගරික රථ වාහන අංශයට අනුයුක්තව කොට්ටාව පොලිසියේ රාජකාරී කරන කොස්තාපල්වරයෙකි.




පසුගිය නව වැනිදා මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් තුවාල ලැබූ අඹුසැමි යුවළ කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගෙන ඇත.තමාගේ මුදල් පසුම්බිය අනතුර සිදුවූ අවස්ථාවේ කිසිවකු විසින් සොරාගෙන එහි තිබූ ඒ.ටී.එම්. කාඩ්පත යොදා ගනිමින් පැලවත්තේ පිහිටි සුපිරි වෙළඳසලකින් රුපියල් 16,400 ක් වටිනා බඩු බාහිරාදිය මිලදී ගෙන ඇති බවට තුවාල ලැබූ පුද්ගලයා වැලිකඩ පොලිසියට පසු දින AC (10) පැමිණිලි කර ඇත.




පැමිණිල්ල අනුව වැලිකඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම සුපිරි වෙළෙඳසලට ගොස් එහි සවිකර ඇති සීසීටීවී කැමරාවල රූප රාමු පරීක්ෂා කර බලා මෙම කොස්තාපල්වරයා හඳුනාගෙන කොළඹ නාගරික   රථවාහන කොට්ඨාසයට ගොස් ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.මුදල් පසුම්බියක් සොරාගෙන ඒ.ටී.එම්. කාඩ්පතින් බඩු බාහිරාදිය ද මිලදී ගෙන සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනාව යටතේ සැකපිට පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි. මෙම පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධ යෙන් විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට ද පොලිසිය කටයුතු කර ගෙන යයි. වැලිකඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)