trump-mcdonalds

ඇමරිකාවේ මීළඟ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක සිදු කළ කටයුත්ත විදෙස් මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව ඇත.



හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෑත කාලීනව සිදු කළ පෙන්සිල්වේනියාවේ මැක්ඩොනල්ඩ්ස් සංචාරය, විශේෂයෙන් උප ජනාධිපති කමලා හැරිස්ගේ පෙර රැකියා පසුබිම සම්බන්ධයෙන් සැලකිය යුතු මාධ්‍ය අවධානයක් හා විවාදයක් ඇති කර න්නට සමත් විය.

2024 ඔක්තෝබර් 20 වන දින, ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ ෆීස්ටර්විල්-ට්‍රෙවෝස් හි මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ශාඛාවක කබායක් පැළඳ ෆ්‍රයිස් බැදීමේ සේවයේ නිරත විය.

සිය ප්‍රතිවාදිනී කමලා හැරිස් විශ්වවිද්‍යාල කාලයේ මැක්ඩොනල්ඩ්ස්හි සේවය කළ බවට කර තිබූ කතාව බොරුවක් බව ට්‍රම්ප් පවසා තිබුණි. එසේ කරන ප්‍රකාශය ගැන ඔහු දිගටම ප්‍රශ්න කරන අතරතුර මෙම කටයුත්ත උපායශීලීව සිදු කෙරිණි.

කිසිදු සාක්ෂියක් නොමැතිව, හැරිස්ගේ මැක්ඩොනල්ඩ්ස් රැකියා අත්දැකීම් ව්‍යාජ බව ට්‍රම්ප් නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇත. සංචාරය අතරතුර ඔහු "මම දැන් කමලාට වඩා විනාඩි 15ක් වැඩි කාලයක් මෙහි වැඩ කර තිබෙනවා" යනුවෙන් ප්‍රකාශ කළේය. මෙම උපක්‍රමය කම්කරු පන්තියේ ඇමරිකානුවන් සමග ට්‍රම්ප්ගේ සම්බන්ධතාවය පෙන්වීමට අදහස් කළ බව ඔහුගේ ව්‍යාපාර උපදේශක පැවසීය.



බොහෝ මැක්ඩොනල්ඩ්ස් සේවකයින් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය ගැන සැක පල කළහ. අත්වැසුම් හෝ හිස් ආවරණයක් නොපැළඳ ආහාර හැසිරවීම වැනි නිසි ආහාර සුරක්ෂිතතා ක්‍රියාමාර්ග අනුගමනය නොකළ බව සමහරු පෙන්වා දුන්හ. මෙය සැබෑ රැකියා නියැලීමක් නොව ප්‍රචාරක උපක්‍රමයක් බව සමාජ මාධ්‍ය ඔස්සේ සේවකයෝ අදහස් දැක්වූහ.
 දේශපාලන චරිතයකට තම ආයතනයේ මැතිවරණ ව්‍යාපාර කටයුතු කිරීමට ඉඩ දීම ගැන සමාගම විවේචනය කළ අයද වෙති. මැක්ඩොනල්ඩ්ස් සමාගමට අභ්‍යන්තර සටහනක් තබන්නට මෙම සිද්ධිය හේතුවූ අතර ඔවුන් ට්‍රම්ප්ට ආරාධනා නොකළ බවත්, දේශපාලන මධ්‍යස්ථභාවය අවධාරණය කළ බවත් පැහැදිලි කර තිබේ.

මැක්ඩොනල්ඩ්ස් කිසිදු දේශපාලන අපේක්ෂකයෙකුට සහය නොදක්වන බවත්, මැතිවරණ සමයේදී සිය වෙළඳ නාමයේ මධ්‍යස්ථභාවය පවත්වා ගැනීමට අදහස් කරන බවත් ප්‍රකාශ කර ඇත. සමාගමේ franchise ව්‍යාපාර ආකෘතිය යටතේ තනි හිමිකරුවන්ට සමාගමේ අනුමැතියකින් තොරව උත්සව සංවිධානය කිරීමට හැකි බව සමාගම අවධාරණය කළේය.