සතියේ වැඩිම මාධ්‍ය ආකර්ෂණය දිනා ගැනීමට පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල සමත් විය. ඒ, පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බාර දුන් කමිටු වාර්තා දෙකක් ඔහු ජනගත කිරීම හේතුවෙනි. ඒ සදහා සිද්ධි පෙළ ගැසුණේ මෙසේය.
අතුරුදන්යැයි කියූ පාස්කු වාර්තා පිවිතුරු හෙළ උරුමයට තැපෑලෙන් එයි. පාස්කු දා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටු දෙකම වාර්තා භාර දුන්නත්, හිටපු ජනාධිපතිවරයා ඒවා ප්‍රසිද්ධ කළේ නැත. කතෝලික පල්ලිය මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා හිටපු ජනාධිපතිගෙන් වගේම දැන් ඉන්න ජනාධිපතිගෙනුත් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියේය. පසුගිය ඔක්තෝබර් 6 වැනිදා ජනාධිපති කටුවාපිටිය පල්ලියට ගියවිට ගම්මන්පිල හිතුවේ ඒ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න පල්ලියට ගියා කියලාය. එහෙත්, පුදුමයට වගේ ජනාධිපතිවරයා මේ වාර්තා ප්‍රසිද්ධ නොකළා පමණක් නොව කාදිනල්තුමා මේ වාර්තා ගැන මතක් කළේවත් නැත. ඒ නිසා පසු දාම මාධ්‍ය හමුවක් පැවැත්වූ ගම්මන්පිල මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළේය.පසුගිය 10 වැනිදා ගම්මන්පිලට තැපෑලෙන් ලොකු පාර්සල් දෙකක් ලැබිණි. ඒවා විවෘත කරලා බලන විට ඔහුට නිර්නාමිකව පාස්කු දා ප්‍රහාර කමිටු වාර්තා දෙකම ලැබී තිබුණි. ඒ වාර්තා මාලිමා ආණ්ඩුවට අතිශයින්ම අවාසිදායකය. ආණ්ඩුවට අවාසි නිසා මේ වාර්තා ප්‍රසිද්ධ නොකරන බව තේරුම් ගත් ගත් ගම්මන්පිල පිවිතුරු හෙළ උරුමයේ දේශපාලන මණ්ඩලය වහාම කැඳෙව්වේය. මේ වාර්තාවලට කළ යුත්තේ කුමක්දැයි දේශපාලන මණ්ඩලයෙන් ප්‍රශ්න කළේය. නීති ලේකම් භුපති කිව්වේ, රාජ්‍ය රහස් හෙළි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් නිසා අපි පරෙස්සමෙන් කටයුතු කරන්න ඕනෑ කියලාය. ප්‍රධාන ලේකම් නාලකගේ මතය වුණේ, මහජන මුදලින් සකස් කරපු වාර්තාවක තිබෙන්නේ මොනවා ද කියලා දැනගන්න ජනතාවට අයිතියක් තිබෙන බවය. ඔය අතරේ වාර්තා කියවමින් සිටි ජාතික සංවිධායක
ධම්මික අපූරු දෙයක් සොයා ගත්තේය. “කොමිෂන් වාර්තාවලට අමුණා ඇති ලේඛන ජාතික ආරක්ෂාවට සංවේදී නිසා ඒවා ප්‍රසිද්ධ කරන්න එපා කියලා නිර්දේශ කරලා තිබෙනවා. ඒ කියන්නේ වාර්තාව ප්‍රසිද්ධ කරන්න කියන එකනේ. අපි ප්‍රසිද්ධ කරමු.” ධම්මික කීවේය.
විදේශ කටයුතු ලේකම් තිළිණ හිටියේ වෙනස් මතයකය.
“මොනවා වුණත් ජනාධිපති ප්‍රසිද්ධ කළ යුතු වාර්තානේ. ඒ නිසා අපි වාර්තා ප්‍රසිද්ධ කරන්න ජනාධිපතිට දින හතක් කල් දෙමු. ඒක ජනාධිපති නොකළොත් විතරක් අපි ප්‍රසිද්ධ කරමු.”
“ මේ වාර්තා විනාශ කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ නිසා අපි ඉක්මනින් මේ වාර්තා දෙක ස්කෑන් කරලා අන්තර්ජාලයේ රහසිගතව ගබඩා කරමු. ඒ වගේම නායකතුමාගේ ජීවිතයටත් තර්ජන එන්න පුළුවන්. නායකතුමා සිරගත කරලා හරි මේ වාර්තාව එළියට යන එක නවත්වන්න ආණ්ඩුව උත්සාහ කළොත් අපි ඒකටත් විකල්පයක් හදා ගමු.” ඒ යෝජනාව පරිසර ලේකම් ප්‍රසන්නගෙනි.
අවසානයේදී වාර්තාවේ සුරක්ෂිතව තබන්නටත්,
ඇමුණුම් වාර්තාව පමණක් ප්‍රසිද්ධ කරන්නත්, ඒක ප්‍රසිද්ධ කිරීමට පෙර ජනාධිපතිතුමාට වාර්තා ප්‍රසිද්ධ කිරීමට දින හතක් කල් දීමටත්, පිවිතුරු හෙළ උරුමයේ දේශපාලන මණ්ඩලය තීරණය කළේය.
පක්‍ෂයේ තීරණය අනුව පසුගිය 14 වැනිදා ගම්මන්පිල මාධ්‍ය හමුවක් පවත්වා මේ වාර්තා දෙක දින හතක් ඇතුළත ජනාධිපතිතුමා ප්‍රසිද්ධ නොකළොත් තමන් ප්‍රසිද්ධ කරන බව ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා පැවැසුවේ, ගම්ම පිල දින තුනක් ඇතුළත මේ වාර්තා ආණ්ඩුවට භාර දුන්නේ නැති නම් ඔහු බරපතළ වරදක් කරනවා යැයි අනතුරු ඇඟවීමක් ද කළේය.කෙසේ වෙතත් උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනු ඇති බවට ද විවිධ පාර්ශ්ව අනාවැකි පළ කළේය. ඒ, රාජ්‍ය රහස් හෙළි කිරීමේ වරදටය.
“ඔව්, මම දන්නවා මම වරදක් කළා කියලා. ඔප්පු වුණොත් මාව අවුරුදු 14කට හිරේ දාන්න පුළුවන්. එත් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් මම ඒ අභියෝගය භා ගන්නවා." උදය ගම්මන්පිල ප්‍රසිද්ධියේ කීවේය.කමිටු වාර්තා එළිදැක්වීමට උදය ගම්මන්පිල ජනාධිපති අනුර කුමාරට දී තිබූ කාලය ඉකුත් සඳුදා පෙරවරු 10.00න් අවසන් විය. කවුරුත් බලාගෙන සිටියේ ඊළඟට සිද්ධ වෙන්නේ කුමක් ද යන්න ගැනය. මාධ්‍යවේදීන්ගේ අවධානය යොමු වී තිබුණේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලය දෙසටය.
“මං දන්නවා ආණ්ඩුව ඕක කීයටවත් එළියට දාන්නේ නෑ. දාන්නේ නෑ නොවෙයි ආණ්ඩුවට ඒවා එළියට දාන්න බෑ." උදය ගම්මන්පිල එසේ කියා, පක්‍ෂයේ මාධ්‍ය ලේකම්ට කියා සිටියේ, “ප්‍රෙස් එක සූදානම් කරන්න " යනුවෙනි.
“එක පාර බෝම්බ ඔක්කොම එළියට දාන්න හොඳ නෑ. එක වාර්තාවක් අද දාලා ඊළඟ වාර්තාව 28 වැනිදා සඳුදා එළියට දාමු.” ගම්මන්පිලගේ යෝජනාවට පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ අනුමැතිය හිමි විය. මාධ්‍ය හමුවේදී හමුවේදී උදය ගම්මන්පිල වාර්තාව උපුටා දක්වමින් පැයක් පුරා කතා කළේය.
“මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නත්, එවකට සී.අයි. ඩී.ය භාර නියෝජ්‍ය පොලිස්පතිත් චූදිතයකු බවට පත් කරලා තියෙනවා. ඒ වගේම තවත් පොලිස් නිලධාරීන් 17 දෙනකුගේ නම් ඒ වාර්තාවේ තියෙනවා. ඔවුන්ටත් නඩු පැවැරිය යුතුයි. අනුර කුමාර ආණ්ඩුව මේ
වාර්තා හැංගුවා. ඒකට හේතුව ජනාධිපතිවරයාගේ
නොහැකියාව ප්‍රදර්ශනය වීමයි. මේ වාර්තාව හෙළි නොකළා නම් මේ අයට නඩු නොපවරා ඉන්න ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා. රවි සෙනෙවිරත්න වහාම තනතුරෙන් පහ නොකළහොත් හෝ සිතාමතාම ජනතාවගේ තොරතුරු දැනගැනීම යටපත් කිරීම ගැන ඉදිරි පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක්
ගෙන එනවා." උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේදී කීවේය.
උදය ගම්මන්පිල කී දෝෂාභියෝග ඉදිරිපත් කිරීම ගැන මාධ්‍යවේදියෙක් කේ.ඩී. ලාල්කාන්තගෙන් කෙළින්ම විමසා සිටියේය.
“දෝෂාභියෝග ගේන්න ඉස්සෙල්ලාම එයා පාර්ලිමේන්තු එන්න එපැයි. උදය ගම්මන්පිල කියන්නේ අවලංගු කාසියක්. හැමදාම ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් ජීවත් වෙන්න හදන කෙනෙක්. එයා කියන ඒවාට දැන් වලංගුභාවයක් නෑ." ලාල්කාන්ත එසේ කීවේය.
කෙසේ වෙතත් උදය ගම්මන්පිලගේ හෙළිදරව්වෙන්
අනුර කුමාර ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අර්බුදයකට මුහුණ දී සිටී. ජාතික ජන බලවේගය නිර්මාණය කළ ත්‍රිවිධ හමුදා සාමූහිකය හරහා දේශපාලනයට පිවිසි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය හිමි විය. ශානි අබේසේකර යළිත් සක්‍රිය පොලිස් සේවයට බඳවා ගැනුණි. එකී පත්කිරීම් මෙම හෙළිදරව් කිරීම සමග කිසියම් අභියෝගයකට ලක්වීම වැළැක්විය නොහැක.
එම නිසාම ජනාධිපති අනුර කුමාර කටුනායකදී සැර ප්‍රකාශයක් කළේය.
“පාස්කු දා ප්‍රහාරයෙන් පස්සෙ අවුරුදු 5ක් ‘කෝමා’ තත්වයෙන් සිටි අය දැන් එක් වරම අවදි වී නොයෙක් වාර්තා ඉල්ලනවා. ඒ, සැබෑ පරීක්‍ෂණ වෙන අතකට හරවන්න. කෝමා තත්වයෙන් අවදි වී කෑගහන පුද්ගලයාගේ සැබෑ වුවමනාව පාස්කු දා ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් හඳුනාගැනීම නොව සැබෑ වරදකරුවන් සැඟවීමයි.” අනුර කුමාර ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, “ජාතික ජන බලවේගයේ අපි, පෙරළන බාල්දිවලට යට වන්නේ නෑ. ඒ වගේම බාල්දි පෙරළන අයට ඉඩ දෙන්නෙත් නෑ." යනුවෙනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉකුත් සතියේ සිටියේ තංගල්ලේ කාල්ටන් නිවෙසේය. හිටපු ජනාධිපතිවරයාට කොළඹ නිල නිවෙසෙන් දුරකතන ඇමතුමක් ලැබිණි.
“සර්, අපි ගාව තියෙන වාහන 3ක් ඕනෑ කියලා ලියුමක් එවලා තියෙනවා." කොළඹ සිට කතා කළ නිලධාරියා කීවේය.
“කවුද ලියුම එවලා තියෙන්නේ?" මහින්ද රාජපක්‍ෂ පෙරළා ඇසුවේය.
“සර් ලියුම එවලා තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යලයෙන්." නිලධාරියා කීවේය.
“මම දැන් ඉන්නේ මෙහෙනේ. මම සඳුදා කොළඹ ආවාම ඉල්ලන වාහන ටික දෙන්නම් කියලා කියන්න.” මහින්ද රාජපක්‍ෂ යළිත් කීවේය.
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ඊළඟ ඇමතුම ලැබුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම්ගෙනි.
“සර්, ඔබතුමා මේ රටේ තිස් අවුරුද්දක් තිස්සේ තිබුණ යුද්ධය නැති කළ නායකයා. ඔබතුමාගේ ආරක්‍ෂාවට තියෙන වාහන මෙහෙම ගත්තම ඔබතුමාගේ ආරක්‍ෂාවට, ජීවිතයට කවුද වග කියන්නේ?'' සාගර කාරියවසම් ඇසුවේය.
“ මේවා ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. අපි බලාගෙන ඉමු." මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.
හිටපු ජනාධිපතිවරුන්ට හිමි විය යුතු වරප්‍රසාද සම්බන්ධයෙන් විමසා බැලීමට රජය කමිටුවක් පත් කළේය. මෙම කමිටුව හිටපු ජනාධිපතිවරුන්ට ලිපියක් යොමු කරමින් අවශ්‍යතා ගැන විමසා සිටියේය.
ජනාධිපති අනුර කුමාර තංගල්ලේදී මෙහෙම කතාවක් කීවේය.
“ආසන්නව හිටපු ජනාධිපතිවරයා කෝකියෝ 16ක්, ආරක්‍ෂාවට 163ක්, වාහන විසි ගණනක්, කුඩ 30ක් අවශ්‍ය බව අපට ලිපියක් එවලා තියෙනවා. ඒත් අපි ඒවා දෙන්නේ නෑ."
හිටපු ජනාධිපතිවරයාගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක කියා සිටියේ, “හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් කිසිම දෙයක් ඉල්ලා නැහැ." යනුවෙනි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පක්‍ෂයේ නායකයන් සමග මෙන්ම
තමන්ට උදව් කළ පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් හමු වී දේශපාලනය කතා කිරීම සිරිතක් කරගෙන සිටී. හිටපු ජනාධිපතිවරයාගේ ලොකුම බලාපොරොත්තුව පොහොට්ටුවෙන් පැමිණ තමන්ට සහාය දුන් මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ සිටිනු දැකීමය.
“සර්ගේ ආශිර්වාදය අපට ලොකු ශක්තියක්." මහනුවරින් ඡන්දය ඉල්ලන මහින්දානන්ද අලුත්ගමගේ කිව්වේ තවත් අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපිටය.
- පන්දමා
0 Comments