upul-tharanga-warrent

විදේශගතව සිටින ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා ලංකාවට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරිමට නියම කළ මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා, ඒ සඳහා වරෙන්තුවක් ද ඊයේ (8) නිකුත් කළේය.




පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වූ ලෙජන්ඩ් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් කළ බවට ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමක කළමනාකාරවරයකු වූ යෝගි පටෙල් නමැත්තාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු වූ උපුල් තරංග මහතා සාක්කි දීම සඳහා අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වයෙන් මෙන්ම පැමිණිලි පාර්ශ්වයෙන් ද ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.


මේ වන විට රටින් පිට වීම තහනම් කර ඇති යෝගි පටෙල් නමැත්තාගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන 16 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ද විනිසුරුවරයා දැනුම් දුන්නේය.




2024 මාර්තු 8 වැනිදාත් 19 වැනිදාත් අතර කාලයේ පල්ලේකැලේදී ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග ක්‍රීඩකයන්ට මුදලට තරග පාවා දීමට බලපෑම් කිරීමෙන් ක්‍රීඩා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කිරීම යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනතේ 05 වැනි වගන්තියේ (ඇ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් විත්තිකරු කර ඇතැයි නීතිපතිවරයා චෝදනා ඉදිරිපත් කර ඇති අතර, ක්‍රීඩා පනත අනුව මෙම චෝදනාව යටතේ ඉදිරිපත් කරන නඩුවක් මාස 3ක කාලයක් තුළ විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කළ යුතුය.


නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝගි පටෙල් මහතා අධිකරණයේ පෙනී සිටියේය.මුදලට තරග පාවා දීම සම්බන්ධයෙන් දකුණු ආසියාවෙන්ම මුලින්ම පැවැරූ නඩුව වන මෙම සිද්ධියේ පැමිණිලිකරු මෙන්ම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු ද

වන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතාට සාක්කි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කර තිබුණත්, නඩුවේ සාක්කි විභාග කිරීම සඳහා නඩුව කැඳවූ අවස්ථාවේදී උපුල් තරංග මහතා අධිකරණයේ පෙනී නොසිටියේය.


විදේශගත වන හෙයින් නඩුවේ සාක්කි දීම සඳහා අධිකරණයට පැමිණීමට හැකියාවක් නැති බව සඳහන් කරමින් උපුල් තරංග මහතා පොලීසියට ලිපියක් දී ඇති බවත්, ඔහු ලබන 20 වැනිදා ලංකාවට පැමිණෙන හෙයින් නඩුවේ සාක්කි දීම සඳහා ඉන් පසු දිනයක් දෙන ලෙස ලිපිය මගින් ඉල්ලීමක් කර ඇති බවත් අනාවරණය විය.

ඒ අවස්ථාවේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින්, විදේශීය පුරවැසියකු වන තම සේවාදායකයාට එරෙහි මෙම නඩුව හේතුවෙන් නඩු විභාගය අවසන් වනතුරු ඔහුට රටින් පිට වීම තහනම් කර ඇතැයි කීය.


ක්‍රීඩා පනත අනුව මෙම නඩුව ඉතාම කෙටි කාලයක් තුළ විභාග කර අවසන් කළ යුතු යැයි ද, ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා දින තුනක කාලයක් නියම කර ඇතැයි ද ඔහු කීය. නඩුව විභාග කිරීම සඳහා දින නියම කරගත් පසු පැමිණිල්ලේ ප්‍රධාන සාක්කිකරු වන උපුල් තරංග නමැත්තා මෙලෙස විදේශගත වී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා, නඩුවේ සාක්කි දිය යුතු බව දැන දැනම නඩුවේ ප්‍රධාන සාක්කිකරු මෙලෙස

විදේශගත වීම සුළුවෙන් තැකිය නොහැකි යැයි ද කීය.


ඔහු විදේශගත වන්නේ නම්, ඊට පෙර ඒ පිළිබඳ දැනුම් දී අධිකරණයේ අවසර ගත යුතු බවත්, එසේ නොමැතිව පොලීසියට ලියුම් ලියා නඩුවක සාක්කි දීමට දින ලබාගත නොහැකි බවත් පෙන්වා දුන් රියෙන්සි අර්සකුලරත්න මහතා, විදේශගතවී ඇති නඩුවේ ප්‍රධාන සාක්කිකරු ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා කරුණු දක්වමින්, නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස සාක්කිකරුට දැනුම් දී තිබියදී ඔහු මෙලෙස විදේශගත වී ඇතැයි කීය.ඔහු නොමැතිව පැමිණිල්ලේ සාක්කි විභාග කිරීමට හැකියාවක් නැතැයි කී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා, විදේශගත වී ඇති සාක්කිකරු ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලේ ප්‍රධාන සාක්කිකරු වන උපුල් තරංග නමැත්තා ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා, නඩු විභාගය ලබන වසරේ ජනවාරි 15 වැනිදා තෙක් කල් තැබීය.


විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය අමතමින්, මෙම නඩුවේ විභාගය අවසන් වනතුරු තම සේවාදායක යෝගි පටෙල් නමැත්තාට රටින් පිට වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇතැයි කීය.නඩුවේ ප්‍රධාන සාක්කිකරු නොපැමිණීම හේතුවෙන් නඩු විභාගය ලබන වසර දක්වා කල් ගොස් ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා, මෙම තත්වය සැලකිල්ලට ගෙන තම සේවාදායකයාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ඉල්ලා සිටියේය.


කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන 16 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් විනිසුරුවරයා, නඩුව එදින යළි කැඳවීමට ද නියම කළේය.පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටියේය.විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් වන තේජිත කෝරළගේ සහ පසිඳු ගමගේ සමග ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.
( මනෝප්‍රිය ගුණසේකර)