ලංකා ඉතිහාසයේ කුඩාම කැබිනට්ටුව ඉකුත් 30 වැනිදා පෙරවරුවේදී ජනාධිපති ලේකම් කාරියාලයේ දී රැස්විය. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. අගමැතිනි හරිනි අමරසූරිය, ඇමැති විජිත හේරත් සෙසු සාමාජිකයෝ වෙති. “ආයුබෝවන්” ජනාධිපතිවරයා සාම්ප්‍රදායානුකූලව ආචාර කරමින් අගමැතිනිය හා ඇමැතිවරයා පිළිගත්තේය.
අද අපට ඓතිහාසික දවසක්. මේ රටේ ජනතාව කාලාන්තරයක් තිස්සේ ඉල්ලා සිටින වෙනස්කම් අපි ලබා දිය යුතුයි. විශේෂයෙන්ම මේ කැත මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. අද අපි මේ මංගල කැබිනට් රැස්වීමේදීම ඒකට අවශ්‍ය පදනම සකස් කළ යුතුයි.” ජනාධිපති අනුර කීවේය.
“අපි කාලයක් තිස්සේ මේ රටේ ජනතාවට කිව්වා පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන්ට ලැබෙන අසීමිත වරප්‍රසාද අහිමි කරනවා කියලා. ඒ අනුව තීරු බදු රහිත වාහන බලපත්‍රය, විශ්‍රාම වැටුප, කාර්යාලයක් සඳහා ගෙවන රුපියල් ලක්ෂයක දීමනාව, රුපියල් පනස් දහසක මාසික දුරකථන දීමනාව, තුන්ලක්ෂ පනස් දහසක් වටිනා වාර්ෂික මුද්දර දීමනාව අහෝසි කළ යුතුයි." ඇමැති විජිත කීවේය.
“මේ වරප්‍රසාද ලබාදෙමින් නිකුත් කරලා තියෙන චක්‍රලේඛ පළමුව අහෝසි කළ යුතුයි." ජනපති අනුර පෙන්වා දුන්නේය. “මේ කටයුතු විධිමත්ව කරන්න අවශ්‍ය නිර්දේශ ලබාගන්න කමිටුවක් පත් කරමු." එම යෝජනාව අගමැති හරිනිගෙනි.
“ඒක තමයි හොඳම දේ" යැයි කී ජනාධිපති අනුර රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම්, ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් නිකුත් කර තිබූ බාර් ලයිසන් ආදිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කැබිනට් සාකච්ඡාව ඉදිරියට ගෙන ගියේය.
2015 මැතිවරණ පරාජයෙන් පසුව එළිදැක්වුණු රථවාහන සංදර්ශනය' මෙවරත් ජයටම ක්‍රියාත්මක විය. අමාත්‍යාංශ සහ රජයේ ආයතනවලට අයත් වාහන විශාල සංඛ්‍යාවක් ගාලු මුවදොර පිටියේ හා තවත් ස්ථාන කිහිපයක ගාල් කර තිබිණි. ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයකු වන වසන්ත සමරසිංහ ගාලු මුවදොර පිටියේ ගාල් කර තිබූ වාහන ඉදිරිපිටට පැමිණ ප්‍රකාශ කළේ “විවිධ පුද්ගලයන් අයථා ලෙස පාවිච්චි කළ රජයේ වාහන හොර රහසේම මෙතැනට ගෙනැවිත් දමා පලාගොස්” ඇති බවය.
එය රටේ ජනතාවගේ අවධානයට ලක්වූ ප්‍රවෘත්තියක් විය.
“මේ වාහන පාවිච්චි කළේ කවුද?" කවුරුත් කළේ ඒ ගැනය.
“වසන්ත සහෝදරයා ඉක්මන් වුණා වැඩියි. ඔය වාහන දාලා ගිය ඒවා නොවෙයි. නීත්‍යානුකූලව බාරදීලා ගිය වාහන." මේ පිළිබඳව මාධ්‍යවේදියෙක් මාලිමාවේ ප්‍රබලයකුගෙන් විමසූ විට ලබාදුන් පිළිතුර එය විය.
ජනාධිපති ලේකම් කාර්යාලය ද නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථවාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදීමට මේ වනවිටත් ක්‍රියා කරමින් සිටින බවත් මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලයට දී තිබූ රථවාහන නොවන බවත් ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (1) වගන්තිය යටතේ පත් කරන ලද පෞද්ගලික කාර්ය මණ්ඩලයට දී තිබූ රථවාහන බවය.
එසේම මෙම රථවාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ එතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරිමට ඉඩකඩ නොමැති නිසා මිස වාහන ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන් නොවන බවද ජනාධිපති ලේකම් කාර්යාලය සිය නිවේදනයේ දක්වා තිබිණි.
හිටපු ජනාධිපතිගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ කියා සිටියේ “මාලිමා ආණ්ඩුව ගහන්න ගිය අතේ රෝලක් ඒගොල්ලන්ගෙම අතේ පත්තු වුණා.” යනුවෙනි. සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්ව සන්ධානයකින් මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ අදහස මතු වූයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමඟිනි.
“ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මුළු රටෙන්ම ගත්ත ඡන්ද යූ.එන්.පියයි සජබයි ගත්ත ඡන්දවලට වඩා ගොඩක් අඩුයි." හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සාර්ථක තර්කයක් මතු කළේය. ඒ අනුව සමගි ජනබලවේගය සමඟ සාකච්ඡා කිරීමේ බලය රුවන් විජයවර්ධනට හා තලතා අතුකෝරළට පැවරිණි.
“මගේ නම් ඕකට එච්චර මනාපයක් නෑ.” විපක්ෂ නායක සජිත ප්‍රේමදාස කීවේය.
“එහෙත් අපි උත්සාහයක් අරගෙන බලමු.” ඒ කබීර් හෂීම්ගේ ප්‍රකාශය විය.
“අපේ කොන්දේසිවලට යටත් නම් විතරක් යූ.එන්.පිය ගමු එහෙම නැත්නම් බෑ." සජිත් යළිත් කීවේය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරිමේ කමිටුවට සජ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් හා සජබ ප්‍රධානියකු වන ලක්ෂ්මන් ෆොන්සේක ඇතුළත් වූහ.
“රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා එතුමා නැවත ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නෙත් නෑ." කියලා.
“ඔව්. එතුමා එහෙම කිව්වා.” රුවන් විජයවර්ධන ද කීවේය.
ද “එහෙම නම් එතුමා මේ ඡන්ද සටනින් අයින් වෙන්න ඕන නායකත්වය විපක්ෂ නායකතුමාට දෙන්න ඕනෑ. ඒ වගේම සන්ධානයේ මහ ලේකම් ධුරය සමගි ජනබලවේගයට දෙන්නා ඕනෑ. ඡන්දෙ ඉල්ලන්නත් ඕනෑ අපේ ලාංඡනයෙන්." සජ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය. ඔහු එසේ කියනවාත් සමඟම රුවන් විජයවර්ධන හා තලතා අතුකෝරළ මුහුණට මුහුණ බලාගත්හ.
“ඇයි ලේකම්තුමා ඔබතුමා ඔච්චරම කොන්දේසි දාන්නේ මේ සන්ධානය හදන්න ඕනෑ නැද්ද?" තලතා අතුකෝරළ කෙළින්ම ඇසුවාය.
“සන්ධානය අවශ්‍යයි. එහෙත් එතුමා නායකත්වයෙන් යනවා කියලා මීට පෙර දෙවතාවක් කියලා තියෙනවා. එහෙත් එතුමා ගියාද? අපිට තව පාරක් රැවටෙන්න බෑ." රංජිත් මද්දුමබණ්ඩාර යළිත් කීවේය. එජාප - සජබ සන්ධානයට අදාළව සාකච්ඡා ඇදී යමින් තිබෙන්නේ එවැනි හැලහැප්පිලි මැදය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගයේ සියලුම ආසන සංවිධායකයන්ට පවසා තිබෙන්නේ මහ මැතිවරණයට සූදානම් වන ලෙසය. එහෙත් බොහෝ සංවිධායකයන්ගෙන් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි පැවසේ.
“ලක්ෂ 300 ක් විතර යනවා කැම්පේන් එකට. දිනාගන්න බැරි වුණොත් මොකද වෙන්නේ?" බොහෝ සංවිධායකයන් එසේ විමසන බව වාර්තා වේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් එරංග වැලිඅංග, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගයාන්ත මැල් ආදී තරුණ නායකයන් මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි ද කියති. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද එම අදහසේම හිටියත් පසුව එය වෙනස් කරගෙන ඇති බව වාර්තා වේ. චම්පික රණවක ද මැතිවරණයට ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඔහුගේ පාර්ශ්වයේ ආරංචි මාර්ග සඳහන් කරයි. සමගි ජනබලවේගය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින්නේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීමට පෙරමුණ ගැනීමට කිසිවකු නොමැති නිසාය. ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූ සුජීව සේනසිංහ යළිත් දේශපාලනය තුළ නිහඬවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීමට ඉදිරිපත් වන අය ඉටුකළ නොහැකි කොන්දේසි දමමින් සිටින බවද වාර්තා වේ.
(පන්දමා)
0 Comments