2024 ලෝක තැපැල් දින ජාතික සැමරුම් උළෙලේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සහ විෂයභාර ඇමැති විජිත හේරත් මහතාගේ රුව ඇතුළත් මුද්දර නිකුතුවක් නොකළ බවත් සිදුවූයේ ආරාධිත එම දෙපළගේ රුව සහිත මුද්දර ඇතුළත් සමරු තිළිණ දෙකක් ප්‍රදානය කිරීමක් පමණක් බවත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඊයේ (10දා) පැවසීය.



ලෝක තැපැල් දිනය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයේදී ආරාධිතයන් දෙදෙනාගේ රුව ඇතුළත් මුද්දර 20 බැගින් අඩංගු සමරු තිළිණය රාමුකර ඔවුන්ට ප්‍රදානය කිරීම පමණක් සිදු වූ බවද ඒ මහතා කීය.

2024 ලෝක තැපැල් දිනය වෙනුවෙන් මුද්දර දෙකක් නිකුත් කළ බවත් එය විශ්ව තැපැල් සංගමය විසින් 150 සංවත්සරය වෙනුවෙන් සියලුම සාමාජික රටවල මුද්දර සඳහා යොදාගැනීමට නිර්මාණය කළ චිත්‍ර ආකෘති ඇසුරෙන් නිර්මාණය කරන ලද මුද්දර දෙකක් බවත් ඔහු කීය.

එවැනි මුද්දර ලක්ෂ 03ක් පමණ මුද්‍රණය කර සාමාන්‍ය ජනතාව වෙත ලබාගැනීමේ අවස්ථාව උදාකර දුන්නත් ආරාධිතයන් දෙදෙනාගේ එවැනි මුද්දර නිකුත් කිරීමක් නොව ඔවුන් දෙදෙනාට පමණක් රාමුකර තිළිණ ප්‍රදානය කිරීමක් පමණක් වූ බවද සත්කුමාර මහතා පැවසීය.

රටේ ඕනෑම පුද්ගලයකුට තමන්ගේ රුව හෝ වෙනත් ඉල්ලුම් කරන ඡායාරූප ඇතුළත් සමරු තිළිණයක් තැපැල් දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා මුද්‍රණය කරගත හැකි බවද සත්කුමාර මහතා කීය.

චමින්ද සිල්වා