vijitha-herath-visa

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් මතුව ඇති විදේශ ගමන් බලපත්‍ර හිඟයට විසඳුමක් ලෙස එම ටෙන්ඩරය හිමිකර ගත් තේල්ස් සමාගමට සහ එහි ශ්‍රී ලංකා නියෝජිතයා වන ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගමට පසුගිය රජය දුන් විද්‍යුත් චිපය රහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක ඇණවුම අවලංගු නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.






එම ඇණවුම තේල්ස් සමාගමට සහ එහි ශ්‍රී ලංකා නියෝජිතයා වන ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගමට ලබාදීමට පසුගිය රජය ගත් තීරණය වැරැදි වුවත් නිවැරැදි වුවත් එම ඇණවුම අවලංගු නොකරන බවත් එම ඇණවුම අවලංගු කළහොත් විදේශ ගමන් බලපත්‍ර හිඟයක් ඇති වනු ඇති බවත් නව රජය එම ඇණවුම අවලංගු නොකිරීමට ගත් තීරණය පිළිබඳව අදහස් අමාත්‍යවරයා පැවැසුවේය.


තේල්ස් සමාගම 47,500 ක විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගයේ පළමු කොටස එළැඹෙන 15 වැනිදා සිට 20 වැනිදා අතර දිනයකදී මෙරටට ලැබීමට නියමිතව තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.

විද්‍යුත් චිපය රහිත විදේශ ගමන් බලපත්‍ර ඇණවුමේ දෙවැනි තොගය ලෙස විදේශ ගමන් බලපත්‍ර 100,000 ක ප්‍රමාණයක් නොවැම්බර් මස අවසානයේදී ලැබීමට නියමිත බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.


කෙසේ වෙතත්, තේල්ස් තවමත් නව විදේශ ගමන් බලපත්‍රයේ සාම්පල ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලබා දී නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රටක් නව විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට පෙර එහි පිටපත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය වෙත කල්තියා අනුමැතිය සඳහා යැවිය යුතු බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.



එම නිසා පසුගිය රජය ඇණවුම ලබාදී ඇති ආකාරයට විද්‍යුත් චිපය රහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.7 ක මුදලකට නව රජය මිලදී ගනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
(නාමිණි විජේදාස සන්ඩේ ටයිම්ස්)