weather-alert

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76,218 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි. ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් මෙම තත්ත්වයට හේතු වී ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.



වැඩිම බලපෑමක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි පවුල් 16,707කට අයත් පුද්ගලයින් 68,672 දෙනෙකු අපහසුතාවයට පත්ව සිටිති. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත. මීට අමතරව, නිවාස 233ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවද වාර්තා වේ.

පසුගිය පැය 24 තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් අත්තනගලුඔය, කැලණි, ගිං, නිල්වලා සහ කළු යන ගංගාවල ජල මට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, ජලයෙන් යටවූ ප්‍රදේශ තවමත් පවතින බැවින් ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව්. සකුරා දිල්තාර මහත්මිය අවධාරණය කරයි.



"ගංගා ද්‍රෝණින්හි ජල මට්ටම් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින්, ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාවක් ලැබුණහොත් නැවත ඉහළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි" යැයි ඇය පෙන්වා දෙයි.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 47ක් සඳහා නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද (13) සවස 4.00 දක්වා බලපැවැත්වෙන බව දන්වා සිටී.