wp-threewheel

 බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහන සේවාවල නිරත වන ත්‍රිරෝද රථවලින් අයකරන ගාස්තුව ඊයේ (09දා) සිට සංශෝධනය කර තිබේ.මේ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100ක් හා දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 85ක් වශයෙන් මගී ජනතාවගෙන් ගාස්තු අය කළ යුතු වේ.




මේ වසරේ ජූලි 15වන දින සිට බස්නාහිර පළාත තුළ ධාවනය කරන මගී ත්‍රිරෝද රථ සඳහා ගාස්තුවක් හඳුන්වා දුන් අතර, මේ අනුව එම අවස්ථාවේදී පළමු කිලෝමීටරයට රුපියල් 100ක්, දෙවන කිලෝමීටරයට රුපියල් 90ක් ලෙස ප්‍රකාශයට පත් විය.


එහෙත් ජූලි 15 දින හඳුන්වා දුන් ත්‍රිරෝද රථ ගාස්තුවවත් ත්‍රිරෝද රථවලින් 25%ක්වත් අය නොකළ බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. මේ නිසා හඳුන්වා දුන් නව ගාස්තුව ක්‍රියාත්මක කරනවාද යන්න සොයා බලා, නීති උල්ලංඝනය කරන ත්‍රිරෝද රථ රියැදුරන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද එම සංගමයේ ලේකම් රෝහණ පෙරේරා මහතා සඳහන් කළේය.


නව නීතිය පැනවීමත් සමග බස්නාහිර පළාත තුළ ධාවන කරන ත්‍රිරෝද රථවල අදාළ ගාස්තුව මගී ජනතාවට පෙනෙන ලෙසට ත්‍රිරෝද රථයේ ප්‍රදර්ශනය කළ යුතු බවටත් නීතියක් පවතින බවත්,

එම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් පැවැසීය.ගාස්තු මීටරයක් සවි කළ යුතු බවටත් නීතියක් පැනවූ බවත්, ඒ අනුව බස්නාහිර පළාත තුළ ධාවනය වන ත්‍රිරෝද රථ දෙලක්ෂ අසූදහසකට ආසන්න ප්‍රමාණයෙන් 60%කට වැඩි ප්‍රමාණයක මේ වන විට ගාස්තු මීටරය සවිකර තිබෙන බවත් පවසා සිටියේය.ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් ජංගම දුරකථන ඇප් යොදා ගෙන මගීන්ගෙන් ගාස්තු අය කරන බවත්, එම ක්‍රමය නීති විරෝධී නිසා එම ක්‍රමවේදයන් නතර කිරීමටත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සඳහන් කළේය.
(ඉන්දික හේවාවිතාරණ)