yoshitha-johnny-senadhipathy

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු මේජර්වරයකු වන නිශ්ශංක සේනාධිපති යන අය පසුගිය රජය සමයේ ආයුධ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ඒවා හැකි ඉක්මනින් ආපසු භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී ඇත. 


 යෝෂිත රාජපක්ෂ  මිලිමීටර් 9 පිස්තෝල 6ක් ඇතුළු ගිනි අවි 7 ක් රැගෙන ගොස් ඇති අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මිලිමීටර් 9 පිස්තෝල තුනක් සහ බෝර රිපීටර් පහක් ලෙස ගිනි අවි 8ක් පසුගිය රජයෙන් ලබාගෙන තිබේ.  නිශ්ශංක සේනාධිපති මහතා පිස්තෝල 7ක් (මි.මී. 9) සහ බෝර රිපීටර් 2 ක් ඇතුළුව ගිනිඅවි 09 ක් ලබාගෙන ඇත.


 නිශ්ශංක සේනාධිපති මහතා ආයුධ ලබාගෙන ඇත්තේ ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ඇවන්ගාඩ් නැමැති සමුද්‍ර ආරක්ෂක ආයතනය සඳහා බව පැවසේ.
තනතුර අතහැර පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පසුගිය රජය රට පුරා පුද්ගලයින් 1,500 කට ආයුධ 1,690 ක් නිකුත් කර ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.
මෙම සියලු පුද්ගලයින්ට නොවැම්බර් 7 වැනිදා වන විට ආයුධ ආපසු ලබා දෙන ලෙස දන්වා ඇති අතර, ඊට අවනත නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවට ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත.