7000-election-sleep

මැතිවරණ අපේක්ෂකයන් අට දහසෙන් හත් දහසක් පමණ මෙතෙක් කිසිදු ඡන්ද ප්‍රචාරක කටයුත්තක යෙදී නැතැයි තොරතුරු අනාවරණය වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය. ප්‍රධාන පක්ෂ පහක අපේක්ෂකයන් හැරුණු විට සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල කිසිවකු යෙදී නැතැයි ද ඔහු සඳහන් කළේය.




 මේ අතර ප්‍රධාන පක්ෂ පහේ බොහෝ අපේක්ෂකයන් ද ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කිරීම සීමා කර ඇතැයි පවසන හෙට්ටිආරච්චි මහතා මැතිවරණ වියදම් පනත ප්‍රකාරව වියදම් සීමා කිරීමට සිදුව ඇති හෙයින් එසේ කටයුතු කරන බව පෙනී යන්නේයැයි ද සඳහන් කළේය. ප්‍රධාන පක්ෂ පහේ අ පේක්ෂකයන් බහුතරයක් ගම් මට්ටමින් ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු කිරීම වැඩි කර ඇතැයි ද පෙනී යන බව පැෆරල් සංවිධානය පවසයි.




පොදුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල පසුබෑමක් ඇති බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.මෙම අපේක්ෂකයන් 8000න් තෝරා ගැනෙන්නේ එකසිය අනූ හයදෙනකු පමණි. ඒ අනුව අපේක්ෂකයන්ගෙන් සියයට අනූ අටක් පරාජයට පත්වන බව හෙට්ටිආරච්චි මහතා කීය.


පරාජය වන අපේක්ෂකයන් බොහෝ පිරිසක් ඉදිරි පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලට තරග කිරීමට අපේක්ෂාවෙන් පසු වන බව කරුණු සොයා බැලීම්වලදී දැනගන්නට ලැබුණේ යැයි හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවැසීය.
( සුජිත් හේවාජුලිගේ )