Melania-White-House-husband-second-president

ඇමරිකාවේ ජනපති පදවිය දෙවැනි වතාවටත් ජයග්‍රාහී ලෙස හිමිකරගත් නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තම පවුල ජයගැනීමේ නොහැකියාවකට පත්ව ඇතැයි එරට මාධ්‍ය උපහාසයෙන් යුතුව වාර්තා කර තිබේ.
මෙලානියා ට්‍රම්ප් දෙවන වරට First Lady එනම් ප්‍රථම මැතිනිය ලෙස වොෂිංටනයේ ධවල මන්දිරයට පැමිණ පූර්ණ කාලීනව වාසය නොකිරීමට ඉඩ ඇති බව මූලාශ්‍ර කිහිපයක් ඇසුරින් ඊයේ CNN වාර්තා කර තිබේ. මෙය සාම්ප්‍රදායික චාරිත්‍ර වලින් ඈත් වීමේ සලකුණක් ලෙස විවේචන මතුවෙමින් පවතී.
මෙම කාරණාව ඉස්මතු වන සිදුවීම් කිහිපයක්ම නිරීක්ෂණය වන බවද එම වාර්තාවෙහි දැක්වේ.

ප්‍රධාන කරුණු අතර පසුගියදා ජෝ බයිඩන් හමුවීමට ට්‍රම්ප් ගිය අවස්ථාවේ ජිල් බයිඩන් සමඟ සාම්ප්‍රදායික හමුව මග හැරීමට තීරණය කර තීබීමද වේ.
ඇය පවසා ඇත්තේ තම ජීවිතය වෙනස් රටාවකින් ගත කිරීමටට පසුගිය කාලය පුරා හැඩගැසුණ බවත් නිව්යෝක් නගරය සහ පාම් බීච් අතර වැඩි කාලයක් ගත කිරීමට ඉදිරියටත් අපේක්ෂා කරන බවත්ය.
කෙසේ වෙතත් ප්‍රධාන අවස්ථාවලට පමණක් ධවල මන්දිරයේ රැඳී සිටීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ දැක්වේ.
පෞද්ගලික ජීවිතය සැලකීමේදී ඇයගේ පුත් බැරන් (වයස 18) නිව්යෝක් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන බැවින් පුතුට ආසන්නව තැනක රැදී සිටීමට කැමැත්තක් දක්වයි.
මේ අතර පසුගිය කාලයේ ට්‍රම්ප් වෙනම සිටිමින් සිය මැතිවරණය වෙනුවෙන් වැඩ කරද්දී මෙලනියා වැඩිපුර රැඳී සිටි ෆ්ලොරිඩාවේ මිතුරු කවයක් ගොඩනගාගෙන ඇති අතර එහි මිතුරු මිතුරියන් හමුවීමට ඇය වැඩි ආසාවක් දක්වන්නීය. මේ හේතුවෙන් ඇය ඉදිරියට පුද්ගලික ජීවිතය සහ රාජකාරි අතර සමබරතාවය පවත්වා ගැනීමට උත්සාහ කරයි



මේ අතර මෙලනියා සිය සැමියා ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේ අත්දැකීම් නැවත අත්විදීමට සූදානමින් පසුවන බවද වාර්තාවේ දැක්වේ. ඒකාලයේ ඇය ඇරඹූ "Be Best" වැඩසටහන යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර
මෙවර පූර්ණ කාලීන කාර්ය මණ්ඩලයක් වෙනුවට කුඩා කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට කැමැත්ත පළ කර තිබේ.
විශ්ලේෂකයින් පෙන්වන්නේ ඇය කාර්යබහුල නොවී පෙර අත්දැකීම් පදනම් කරගෙන වඩා ස්වාධීන භූමිකාවක් රඟපෑමට අපේක්ෂා කරන බවයි

මෙලනියා ට්‍රම්ප් මෑත කාලීන ක්‍රියාකාරකම් කිහිපයක් නිසාම සමාජ අවධානයට ලක්විය. එකක් වන්නේ, ඇය ඇය ගැන ලියූ පොතයි. එය ස්වයං චරිතාපදානයක් වූ අතර ට්‍රම්ප්ගේ පුද්ගලික ජීවිතය ගැන සොයන්නට අවශ්‍ය අය එය මිලට ගත් නමුත් විශාල පෙරළියක් ඇති නොකළ බව කියැවිණි.



මෙලානියා ට්‍රම්ප් මෙම දෙවන ධුර කාලය තුළ සාම්ප්‍රදායික ප්‍රථම මැතිනියකගේ භූමිකාවෙන් ඈත් වූ, වඩාත් නම්‍යශීලී සහ ස්වාධීන කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් වන බව පෙනී යයි. මෙය ඇමරිකානු ඉතිහාසයේ අසාමාන්‍ය තත්ත්වයක් වුවද, ඇගේ පෙර ක්‍රියාකලාපය සැලකිල්ලට ගත් විට මෙය පුදුමයට කරුණක් නොවන බවද සීඑන්එන් වැඩිදුරටත් විස්තර කරයි.