41 හැවිරිදි විවාහක මවක, තම දරු දෙදෙනා තනිකර දමා 30 හැවිරිදි හිතවතකු සමග පිටවී යන අයුරු ඊයේ (06) දින මීගොඩ පොලිස් ස්ථානයේදී දැකගත හැකි විය.තම පවුලට උසස් ආර්ථික තත්වයක් උදාකර දීමේ අරමුණින් සැමියා විදේශ රටක සේවය කරන අවස්ථාවේ, මෙම 41 හැවිරිදි මව, 20 හැවිරිදි තම දියණිය සහ 12 හැවිරිදි පුතා සමග නිවසේ ජීවත් වී ඇති බව පොලිසිය කියයි.


මෙලෙස කාලය ගත කරමින් සිටින විට ඇයට මෙම අලුත් හිතවතා හමුවී ඔහු සමග පෙම් සබඳතාවක් පවත්වා ගෙන යමින් සිටින අතරවාරයේ, හදිසියේම පෙරේදා (05) දින රාත්‍රියේ තම දරු දෙදෙනා නිවසේ තනිකර දමා ඇය තම නිවසින් පිටව ගොස් ඇති බව පැවසේ.




මද වේලාවකින් දරු දෙදෙනා තම මව ගැන විපරම් කිරීමේදී, ඇය නිවසේ නොසිටි බව ඔවුන්ට පෙනී යෑම නිසා, දරු දෙදෙනා තමන්ගේ මව නිවසේ නොමැති බව ආච්චි අම්මාගේ නිවසට ගොස් ඔවුන්ට පවසා ඇත. ඔවුන්ද ඇය ගැන සොයා බලා ඇති අතර, ඇය සොයා ගැනීමට නොහැකි අවස්ථාවේ, ඔවුන්ටද ලද තොරතුරු මත සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.


මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් අදාළ ස්ථානය වෙත ගොස් පරික්‍ෂණ පවක්වා, ලද තොරතුරු මත දරුවන්ට සහ ඔවුන් දෙපාර්ශවයේම පවුල්වල අයටත්, දරුවන්ගේ මවට සහ මවගේ හිතවතාටත්, මෙම ගැටලු විසඳා ගැනීම සඳහා ඊයේ (06) මීගොඩ පොලිසියට පැමිණෙන ලෙස උපදෙස් ලබාදී ඇත.ඒ අනුව ඊයේ (06) පෙරවරුවේ මෙම පවුල්වල සියලු දෙනාත්, සිද්ධියට අදාළ දෙදෙනාත් පොලිස් ස්ථානයට පැමිණ සිටියහ.


එම පැමිණිල්ල සම්බන්ධයෙන් මීගොඩ පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරික්ෂිකා තුෂාරි මහත්මිය සහ පොලිස් සැරයන් (7394) ජයතිලක මහතා විසින් මෙම ආරවුල විසදීමට විශාල උත්සාහයක් ගනු ලැබුවද, මෙම මව දරු දෙදෙනා සමග ආපසු තම නිවසට යැම ප්‍රතික්ෂේප කර තම හිතවතා සමග යෑමට දැඩි කැමැත්තක් දැක්වීම නිසා,

මෙම ගැටලුව විසදීමට මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට යොමු කර ඇත.

මෙම ආරවුල විමර්ශනය කරන අවස්ථාවේදී, මෙම කාන්තාවගේ දරු දෙදෙනා සහ ඇයගේ පාර්ශ්වයේ සියලු දෙනා හඬා වැලපෙමින් දරු දෙන්නා සමග ජීවත්වීමට නැවත නිවසට පැමිණෙන ලෙස ඇයට ආයාචනා කරනු ලැබුවද, එම ඉල්ලීමට ඇය දැඩි විරෝධතාවයක් දක්වා ඇත.


පොලිස් ස්ථානාධිපති සියලු දෙනාගෙන්ම කරුණු විමසා දරු දෙදෙනාගේ ආරක්ෂාවත්, ඔවුන් සහ පවුල්වල සියලු දෙනාම පත්ව ඇති අපහසුතාව සහ පවුල් ජීවිතයේ වටිනාකම ගැන ඔවුන්ට පැහැදිලි කර, නැවත තම දරු දෙදෙනා සමග නිවසට යෑමට දරුවන් සහ පවුලේ සෑම දෙනා ආයාචනා කර ඉල්ලන මෙම අවස්ථාවේ, ඔවුන්ගේ එම ඉල්ලීම ඉටුකර නැවත දෙදෙනා සමග නිවසට ගොස් සමගියෙන් ජීවත් වන ලෙසට ඇයට උපදෙස් ලබදී ඇති බව පැවසේ.


ඒ කිසිම ඉල්ලීමක් ඇය පිළිනොගෙන හිතවතා සමග යෑමට දැඩි කැමැත්තක් දක්වා ඇති අවස්ථාවේ, මේ සියලු දෙනාගේ ඉල්ලීම් කෙරෙහි සානුකම්පිත අවධානයක් යොමු කළ ඇයගේ හිතවතා, ඔවුන්ගේ එම ඉල්ලීම ගැන සලකා දරුවන් සමග ආපසු නිවසට යෑමට ඇයට අවස්ථාව ලබාදී ඇතත්, එම ඉල්ලීමද ඇය ප්‍රතික්ෂේප කර හිතවතා සමග යෑමට කැමැත්තක් දක්වා ඇති බවද පොලිසියෙන් වාර්තා වේ.


ඒ අනුව මෙම පවුල් ආරවුල විසඳීමට මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ගත් උත්සාහය ව්‍යර්ථ වූ අවස්ථාවේ ඔවුන්ගේ කැමැත්ත මත, පොත්වල සටහන් තබා දෙදෙනා පොලිස් ස්ථානයෙන් පිටවී යන අයුරුත්, දරු දෙදෙනා සහ ඥාතීන් හඬා වැලපෙමින් මීගොඩ පොලිස් ස්ථානයෙන් පිටවී යන අයුරුත්, පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහ තම සේවාවන් ඉටුකර ගැනීම සඳහා පොලිස් ස්ථානයට පැමිණ සිටි සැමගේත් නෙතට කඳුළු උනන දසුනක් විය.
( නිහාල් වෙත්තසිංහ)