abba-harini

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, ඇමති විජිත හේරත්, ටිල්වින් සිල්වා, සුනිල් වටගල සහ තවත් මාලිමා මන්ත්‍රීවරියන් කිහිපදෙනෙකු ගල්කිස්ස මහ හෝටලයේ පැවති ඇබා සංගීත සන්ධ්‍යාවට සහභාගී වීමෙන් පසු ඔවුන් ලක්ෂ 5 ක් දී මේසයක වෙන් කරවා ගෙන විනෝද වූයේ යයි සමාජ මාධ්‍ය තුළ විවේචන පැනනැගුණි.
නාස්තිය අවම කරන්න ආ අය පාටි දානවා යයි විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් පවා ඒ ගැන චෝදනා කර තිබුණි.
මේ ගැන කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද අද පිලිතුරු දුන්නේ මෙසේය.


"සංචාරක ප්‍රවර්ධනය පිණිස කොළඹ හෝටලයක පැවති සංගීත ප්‍රසංගයකට අපේ අගමැතිතුමිය ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට එයට සහභාගී වන ලෙස ආරාධනා ලැබී තිබුණා. ඒ ආරාධනාව සඳහා ඇය ඇතුළු කිහිප දෙනකු ගොස් තිබුණා. සමහරු වැඩ රාජකාරී නිසා ගියේ නැහැ. එය 'ආරාධනාවක් නිසා සිදුකළ සහභාගී වීමක්' එච්චරයි.."

සමාජ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්, ගල්කිස්ස හෝටලයද, ප්‍රසංගයට මොවුන් ආවේ ආරාධිත අමුත්තන් ලෙස බව පැහැදිලි කළේය.

නිවේදනයක් නිකුත් කරමින් හෝටලය අවධාරණය කර ඇත්තේ, "සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ උත්සවයක් ලෙස, කර්මාන්තයට සහාය වීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය අගයමින් ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු ප්‍රභූවරුන් කිහිප දෙනෙකුට අපි ආරාධනා කළෙමු."

සංචාරක ව්‍යාපාරය නංවාලීමට සහ දේශීය සහ ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවේ ආකර්ෂණය ඉහළ නැංවීමේ මෙහෙවරේ කොටසක් ලෙස ABBA ප්‍රදර්ශනය පැවැත්වීම පිළිබඳව හෝටලය තවදුරටත් ආඩම්බර වන්නෙමු ලෙසිනි.