al-exam-2024

අපොස උසස් පෙළ විභාගය අද (25දා) සිට ලබන මස 20වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2,312කදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.විභාග මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙනඒමට අවසර තිබෙන්නේ ශාලාධිපති හා අතිරේක සහකාර ශාලාධිපතිට පමණක් බවත්, විභාග අපේක්ෂකයන්ට හා විභාග කාර්යමණ්ඩලවලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් කර තිබේ.




ජංගම දුරකථනවලට අමතරව අයදුම්කරුවන්ට ස්මාර්ට් අත් ඔරලෝසු හා විද්‍යුත් උපකරණ රැගෙන ඒම සපුරා තහනම් බවද කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.ප්‍රශ්න පත්‍ර පිටපත් කර වස්ඇප් හරහා බෙදාහැරීම් පිළිබඳ සිද්ධීන් පසුගිය කාලයේදී වාර්තා වී තිබෙන නිසා විභාග කාර්යමණ්ඩලවල සාමාජිකයන්ටත් විභාග ශාලා තුළට ජංගම දුරකථන රැගෙන ඒමට නොහැකි බවත්, එහෙත් සම්බන්ධීකරණ කටයුතු සිදුකර ගැනීමට ශාලාධිපති හා අතිරේක සහකාර ශාලාධිපතිට පමණක් ජංගම දුරකථන රැගෙන ඒමට අවස්ථාව තිබෙන බවත්, එහෙත් සහකාර ශාලාධිපතිවරුන්ට මෙවර ජංගම දුරකථන භාවිත කළ නොහැකි බවද පැවසීය.




අයදුම්කරුවෙකු විභාග මධ්‍යස්ථාන තුළට තහනම් භාණ්ඩ රැගෙන ඒමට කටයුතු කළහොත් වසර 05ක් යනතුරු විභාග තහනම් කිරීමට කටයුතු කරන බවද පවසා සිටියේය.විභාගය පැවැන්වෙන වෙලාවට විනාඩි 30කටවත් පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත්, ප්‍රවේශ පත්‍රය හා නිල අනන්‍යතා පත්‍ර අනිවාරේන්ම විභාග මධ්‍යස්ථාවලට රැගෙන ආ යුතු බවද පැවසීය.


මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ තිස්තුන්දහස් එකසිය අසූපහක් පෙනී සිටීමට නියමිත අතර, ඉන් දෙලක්ෂ පනස් තුන්දහස් තුන්සිය අනූවක් පාසල් අයදුම්කරුවන් වන අතර,

හැත්ත නවදහස් හත්සිය අනූපහක් පුද්ගලික අයදුම්කරුවන් වේ. විභාග කටයුතු සඳහා කාර්යමණ්ඩල විසිපන්දහසකට අධික ප්‍රමාණයක් යොදා තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද දින සිට ආරම්භ වන උසස් පෙළ විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු පසුගිය 19වන දින මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අදාළ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හෝ ආයතන තිබෙනවා නම් ඒ පිළිබඳව 0112421111 හෝ 119 අංක මගින් පොලීසියට දැනුම් දෙන ලෙසත්, මීට අමතරව 1911 හෝ 0112784208, 0112784537දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.