හංසනි අලහකෝන් නම් සිසුවියක් උසස් පෙළ විභාගය නවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඊයේ (25) දින මේ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු ප්‍රියන්ත ජයසූරිය යන මහත්වරුන්ගෙන් සැදුම් ලත් විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
සිසුවිය පෙත්සමේ කියා සිටින්නේ අධ්‍යයන චක්‍රලේඛ 39/2023 අනුව උසස් පෙළට අධ්‍යයන දින 107ක් තිබිය යුතු බවයි. නමුත් එම කාලය සම්පූර්ණ වීමට පෙර විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඇය පෙන්වා දෙනවා. මේ නිසා ලක්ෂ 3ක පමණ සිසුන්ට අසාධාරණයක් සිදුවන බවත්, විෂය නිර්දේශ නිසි පරිදි සම්පූර්ණ කර ගැනීමට නොහැකි වන බවත් ඇය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල්, අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
උසාවියේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පැවසුවේ දැනටමත් විභාගය ආරම්භ කර ඇති බැවින් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවයි. කෙසේ වෙතත්, පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා පෙත්සම සංශෝධනය කිරීමට අවසර ඉල්ලා සිටියා.
අධිකරණය සංශෝධන පෙත්සමට අවසර ලබා දුන් අතර, මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 12 වැනි දින නැවත කැඳවීමට නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් ඇය නවතන්න ඉල්ලන උසස් පෙළ විභාගය මේ වනවිටත් ඇරඹී තිබෙයි.
0 Comments