ampara-tractor-accident

අම්පාර කාර්තිව් මාව­ඩි­පල්ලි පාලම අස­ලදී ට්‍රැක්ටර් රථ­යක් සැඩ පහ­රට හසු­වීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­ව­ලට අදා­ළව අත්අඩංගුවට ගත් නින්ද­වූර් මද්‍රසා පාසලේ විදු­හ­ල්ප­ති­ව­රයා සහ ගුරු­ව­ර­යා ලබන 02දා දක්වා
රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස සමන්තුරේ වැඩබලන මහේස්ත්‍රාත් ඒ.එල්. සබීර් අහම්ඩ් මහතා ඊයේ (28) නියෝග කළේය. ‍මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ  ට්‍රැක්ටර් රථයේ සහා­ය­ක­යන් ලෙස කට­යුතු කර තිබූ දෙදෙ­නා ඇපමත මුදාහැරීමට ද නියෝග කෙරිණි.



මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මොහොමඩ් තකස්ලින් මොහොමඩ් අස්ලිම් සහ ගුරුවරයකු වන තව්ෆික් මොහොමඩ් නලීම් යන අයයි. ඇප මත මුදාහරිනු ලැබුවේ අබ්දුල් හමීඩ් මොහොමඩ් අහදීර් සහ මුහම්මදු මහරුප් මුහම්මදු හකිල් අප්නාන් නමැත්තන්ය.

මෙම සිසුන්ට ඉකුත් 26 වැනිදා පාසල නිම වීමෙන් පසු නිවෙස් බලා යෑමට බස් නැති නිසා එම ට්‍රැක්ට­රයේ යන ලෙස උප­දෙස් දී ඇත්තේ විදු­හ­ල්ප­ති­ව­රයා විසින් බවට විම­ර්ශ­න­ව­ලදී හෙළිව තිබේ. බස් රථය ධාව­නය කිරීම ද නතර කර ඇත්තේ ගංව­තුර තත්ත්වය නිසා බව වාර්තා වී තිබේ.

මාර්ගය අව­දා­නම් බැවින් ට්‍රැක්ටර් රථ­යෙන් දරු­වන් ප්‍රවා­හ­නය නොක­රන ලෙස හමු­දාව එහිදී උප­දෙස් දී තිබූ බව ද වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වී ඇත.



මේ අතර ට්‍රැක්ටර් රථ අන­තු­රෙන් දියේ ගිලී අතු­රු­දන්ව සිටි රියැ­දු­රුගේ මළ සිරුර ඊයේ (28) උදෑ­සන ගංව­තුරේ තිබි­යදී සොයා­ගෙන තිබේ.

එමෙන්ම එම ට්‍රැක්ට­රයේ සහා­යක ලෙස අන­තුර සිදු වන අව­ස්ථාවේ කට­යුතු කළ පුද්ග­ලයා ද මේ වන තෙක් අතු­රු­දන්ව සිටි අතර ඔහු ඊයේ (28) පෙර­ව­රුවේ කාර්තිව් පොලිස් ස්ථාන­යට පැමිණ භාර වීමෙන් අන­තු­රුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. මෙම අන­තු­රින් පසු ඔහු පලා ගොස් සැඟවී සිට ඇති අතර ගංව­තුර තත්ත්වය අත­ර­තුර ආර­ක්ෂක අංශ උප­දෙස් නොත­ක­මින් අන­තු­රු­දා­යක ලෙස ට්‍රැක්ට­ර­යෙන් පුද්ග­ල­යන් ප්‍රවා­හ­නය කිරීමේ චෝදනා මත මොහු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

රියැ­දු­රුගේ සිරු­රට අම­ත­රව දියේ ගිලුණු තවත් සිසු­ව­කු­ගේත් ට්‍රැක්ට­රයේ ගමන් කළ පුද්ග­ල­ය­කු­ගේත් මළ සිරුරු ඊයේ උදෑ­සන සොයා­ගත් බව කාර්තිව් පොලී­සිය සඳ­හන් කළේය.

දියේ ගිලී අතු­රු­දන් වූ සිසුන් සිවු දෙන­කුගේ සිරුරු පෙරේදා (27) සොයා ගත් අතර ඒ අනුව ඊයේ වන විට සිසුන් 05 දෙන­කු­ගේත් රියැ­දු­රු­ගේත් තවත් පුද්ග­ල­ය­කු­ගේත් සිරුරු සොයා­ගෙන තිබිණි.

පොලී­සිය පව­සන්නේ මෙම අන­තු­රින් දියේ ගිලී මිය­ගිය පුද්ගල මළ සිරුරු 07ක් සොයා­ගෙන ඇති බවත් සොයා ගැනී­මට තවත් ඉති­රිව ඇත්තේ එක් සිසු­ව­කුගේ මළ සිරු­රක් පම­ණක් බවත් එම සිරුර ද සොයා විම­ර්ශන පැවැ­ත්වෙන බවත් කාර්තිව් පොලී­සිය සඳ­හන් කළේය. රියැ­දුරු අවු­රුදු 19ක් පමණ වන අයකු බවත් ඔහුට රියැ­දුරු බල­පත්‍ර නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කීය.
(ගයාන් කුමාර වීර­සිංහ සහ අම්පාර විශේෂ - වසන්ත චන්ද්‍රපාල)