තම පියාට අමානුෂික ලෙස පහර දුන් අසල්වැසියන්ට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජනය කිරීමේ චෝදනාවට උප පොලිස් ප,ක්ෂකවරයකු ආණමඩුව පොලීසිය විසින් පෙරේදා(9 දා) රාත්රියෙහි අත් අඩංගුවට ගෙන ඇත.මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරන ආණමඩුව ධර්මපාල ප්රදේශයෙහි පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකි.
අත් අඩංගුවට ගෙන ඇති උපපොලිස් පරීක්ෂකවරයාගේ පියා සමෘද්ධි නියාමකවරයෙකි. අසල්වැසියන් පිරිසක් පසුගිය 7 දින කිසියම් ආරවුලක් හේතුවෙන් ඔහුට අමානුෂික ලෙස පහර දී තිබේ.අසල්වැසියන් අතර ඇතිවූ ආරවුල නිසා පහරකෑමට ලක්වූ උපපොලිස් පරීක්ෂකවරයාගේ පියා ආණමඩුව රෝහලට ඇතුළත් ව ප්රතිකාර ලබමින් සිටියි.
එම සිද්ධියෙන් කෝපයට පත්වූ අපරාධ කොට්ඨාසයෙහි සේවය කරන උපපොලිස් පරීක්ෂක වරයා නිවාඩු ලබා නිවසට පැමිණීමෙන් පසු අසල්වැසි නිවෙස් වෙත ගොස් ඔවුන් මරා දමන බවට තර්ජනය කර ඇති බව පොලීසිය කියයි.පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණ තොරතුරක් මත ආණමඩුව පොලීසියෙහි නිලධාරීන් පිරිසක් උපපොලිස් පරීක්ෂකවරයාගේ නිවසට ගොස් ඔහු අත් අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ තම පියාට අමානුෂික ලෙස පහර දීම හේතුවෙන් සෙල්ලම් පිස්තෝලයක් රැගෙන විත් මෙම පහර දීමට සම්බන්ධ පිරිස් බිය කිරීමේ අරමුණින් මෙලෙස සිදුකර ඇති බවය.
උපපොලිස් පරීක්ෂක වරයාට එල්ලවී ඇති චෝදනා අනුව ඔහු අත් අඩංගුවට ගෙන ආණමඩුව මහේස්ත්රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
(හිරාන් ප්රියංකර ජයසිංහ)
0 Comments