අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරයා වශයෙන් තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවනඛවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේෂ සහගත ලිපියක් ජනපතිවරණයට පෙර සමාජ මාධ්‍යයේ පළකළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට ඊයේ (06) නියෝග කළේය.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට නුසුදුසු පුද්ගලයකු බවට ජනතාව තුළ මතයක් පැතිර වීමට හා ජාතික ජන බලවේගය අප කීර්තියට ලක් කිරීමට ද්වේෂ සහගතව හා වංචනිකව එම පක්ෂයේ ලිපි ශීර්ෂය සහිතව මුහුණු පොතේ ලිපියක් පළකිරීම සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දෙමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
ජාතික ජන බලවේගය පක්ෂයේ නීතිඥ සුනිල් වටගල මහතා පසුගිය සැප්තැම්බර් 12 වැනිදා රහස් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාර අංශයේ පොලිස් නිලධාරීන් කරුණු දක්වමින් ජාතික ජන බලවේගය පක්ෂයේ ලිපි ශීර්ෂයක එම පක්ෂයේ නීතීඥ සුනිල් වටගල මහතා විසින් 2024 සැප්තැම්බර් 10 වැනි දින කොළඹ පෞද්ගලික රෝහලක් අමතා සකස් කරන ලද ලිපියක් බවට හැඟී යන පරිදි මෙම ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍යයේ පළ කර ඇතැයි කීය.
අනුර කුමාර දිසානායක මහතා කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගත් රෝගියකු බව එම ව්‍යාජ ලිපිය සමාජගත කිරීම තුළින් පොදු මහජනයා තුළ යම් තහවුරු කිරීමක් කිරීමට උත්සාහ කර ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව සමාජය තුළ අවිශ්වාසයක්, අප්‍රසාදයක් මෙන්ම ඔහු ජනපති ධුරයට නුසුදුසු පුද්ගලයකු බවට සමාජයේ මතයක් ඇති කිරීමේ වංචනික චේතනාවෙන් මෙම ලිපිය පළ කර ඇති බව පැමිණිල්ලේ සඳහන් බව දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු ‘සුභාග හේරත්" සහ ‘ඩී. වන්නිආරච්චි" නමැති ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා මෙම ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍යයේ පළකර ඇති බවද පැමිණිල්ලේ සඳහන් බව දැනුම් දුන්හ.
ප්‍රතිවාදී පක්ෂ දෙකක පුද්ගලයන් විසින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ඔස්සේ මෙම තොරතුරු පළකර ඇති බව සුනිල් වටගල මහතාගේ පැමිණිල්ලේ සඳහන් බව දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන්නේ යැයිද දැනුම් දුන්හ.ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම සිද්ධියට අදාළ සැකකරුවන් අනාවරණය වන්නේ නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා විමර්ශන ගොනුව සේප්පුවේ තැබීමට නියෝග කළේය.
(රෝෂන් තුෂාර)
0 Comments