archuna-parliament

යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 17 න් මෙවර පාර්ලිමේන්තුවට පිවිසි වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා තමන්ට වහා ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
අභිනව මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඊයේ (25දා) සිට තෙදින වැඩමුළුවක් ආරම්භ වූ අතර එහිදී මන්ත්‍රී ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද ගුණරත්න මහතා විසින් කරන ලද දැනුවත් කිරීම අතරතුර මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර තිබේ. එහිදී ඇතිවූ කතාබහ මෙසේය.



මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා – ආරක්ෂාව සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් තිබෙනවා. එදා සිද්ධ වුණු පුටු සිද්ධියෙන් පස්සේ මට පාරකවත් යන්න බැරි වෙලා. මාධ්‍ය මගින් ඒවා ප්‍රචාරය කරලාත් තිබෙනවා. මගේ ඉන්ටර්විව් අරගෙන මම කෑවාද ඇහුවා. මම කොටිද ඇහුවා. දැන් මට පාරේ යන්න බැරිවෙලා තියෙන්නේ. ඉතින් මට කවදාදා මේක හදාගන්න පුළුවන් ?

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් – මන්ත්‍රීවරුන්ට පිස්තෝලයක් ලබා දීම සහ ආරක්ෂාව පාර්ලිමේන්තු පනතින් සියයට සියයක් ආවරණය වෙන්නේ නෑ. නමුත් ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ නිසා මෙහි ඇත්තටම වගකීම තිබෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට. ඔබට ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් තිබෙනවා නම් ඒ ගැන ලිඛිතව ඉල්ලීමක් කළ හැකියි. ඔබගේ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකුගේ ආරක්ෂාව ලබා දීම හෝ ගිනිඅවියක් ලබා ගැනීමට අයිතියක් තිබෙනවා.



පසුගිය 21 වනදා අභිනව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ නායක අසුනේ වාඩිවී ඉන් ඉවත්වීමට ප්‍රතික්ෂේප කිරීමත් එම සිදුවීම ෆේස්බුක් ඔස්සේ විකාශය කිරීමත් හේතුවෙන් ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (25) ආරම්භ වූ වැඩසටහන අතරතුරදී ඔහු සිය කනගාටුවද ප්‍රකාශ කළේය.

මේ අතර අද (26) වාර්තා වූයේ යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළ බවයි.
ඔහු 2021 වර්ෂයේදී බේස්ලයින් පාරේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදිමේ සිද්ධියකට අදාළ නඩුවක් අද කැඳවු අවස්ථාවේදී මෙම වරෙන්තුව නිකුත් විය.
වෛද්‍යවරයාගේ විවිධ විෂම හැසිරීම් සම්බන්ධ මේ දිනවල විවිධ ආරංචි පැතිර තිබේ.