නොච්චියාගම පී ඩී පී ඇග්‍රෝ බිස්නස් පෞද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබැලි බඩඉරිඟු ලබා ගෙන ඒ සදහා ගෙවිය යුතු රුපියල් පන්කෝටි විසි නව ලක්ෂයක මුදල ලබා නොදී වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන මෙහෙයවා බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළ මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇප හතරක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය
ඇපකරුවන් පවුලේ ළඟම ඥාතීන් විය යුතු බවටද නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර අර්ජුන ඇලෝසියස්ට විදේශගතවීම වළකාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් නිකුත් කළේය.
රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී දැනට වැලිකඩ
බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටින සැකකාර අර්ජුන ඇලෝසියස් යළි 2025 වසරේ පෙබරවාරි 10 වැනිදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මයේස්ත්රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කළේය.
ඊයේ (6) දිනයේ වරින් වර අවස්ථා තුනකදී මෙ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සියලු පාර්ශ්වයන්ගේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන සැකකාර අර්ජුන ඇලෝසියස්ට ඇප නියම කරමින් ප්‍රකාශ කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් පවා ලබා නොගෙන මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම මෙන්ම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම ද ගැටලු සහගත බවයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අසම්පූර්ණ සහ දෝෂ සහිත වැඩිදුර වාර්තා මෙන්ම අධිකරණ නියෝග ඉල්ලා සිටීමේ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම මෙහිදී අධිකරණයේ දැඩි දෝෂ දර්ශනයට ලක් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුර වාර්තා සහ වෙනත් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී මීට වඩා වගකීමෙන් කටයුතු කරන ලෙසටද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දනුම් දුන්නේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (6) මෙම මූල්‍ය වංචාවට අදාළවඅධිකරණ නියෝග ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ දෝෂ සහිත අස පූර්ණ ලේඛන පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දෝෂ
සහිත අසම්පූර්ණ එම ලේඛන නිවැරැදිව යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
වැට් වංචා සිද්ධියකට සිරගතව සිටින සැකකාර අර්ජුන ඇලෝසියස් බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ සිට රැගෙන විත් ඊයේ (6) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ නොච්චියාගම පී ඩී ජී ඇග්‍රෝ බිස්නස් පෞද්ගලික කළමනාකාර අධ්යක්ෂ ප්‍රසාද් දිලංක යන අය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මූලික සමාගමේ විමර්ශන මෙහෙය වීමෙන් අනතුරුව බන්ධනාගාරය මගින් සැකකරු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරනබවයි.මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවමත් අවසන්ව නැති බවද අධිකරණයට කියා සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම කරුණු සැළකිල්ලට ගෙන සැකකරු රිමාන්ඩ් කරන ලෙසද ඉල්ලා සිටියේය. සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රාසික් ෂාරුක් මහතා පැවසුවේ තම සේවාදායකයා රුපියල් පන් කෝටි පනස් නව ලක්ෂයක් වංචා කළ බවට පැමිණිල්ල එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
මෙම සිද්ධිය අපරාධමය ගණයට ගැනෙන එකක් නොවන බවද අධිකරණයට සැලකළ ජනාධිපති නීතිඥවරයා මෙය සිවිල් නඩුකරයක් බවත් මෙම සිද්ධිය සමථ කර ගත හැකි බවත් කීවේය. ඒ් අනුව දැනට සිර දඬුවම් විඳිමින් සිටින තම සේවාදායකයා සිද්ධියට අදාළව ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඉල්ලමින් ජනාධිපති නීතිඥවරයා දීර්ඝ ලෙස කරුණු දක්වා සිටියේය.
අගතියට පත් නොච්චියාගම පී ඩී ජී ඇග්‍රෝ බිස්නස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ප්‍රසාද් දිලංක මහතා අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා ප්‍රකාශ කළේ සැකකරු චේතනාන්විතවම මෙම වංචාව සිදු කර ඇති බව සනාථ කිරීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්ෂි පවතින බවත් තම සේවාදායකයාගෙන් කැබැලි බඩ ඉරිගු ලබාගෙන ඇති සැකකරු ඒ සඳහා චෙක්පත් කිහිපයක් නිකුත් කර ඇති බවත් එම සියලු චෙක්පත් අගරු වී ඇති බවත් ය.
(උපාලි ආනන්ද)
0 Comments